එංගලන්තයේ මහ රැජිනත් පුදුම කළ ගොක්කොළ තොරණ තැනූ අපේ ගුරුවරයා

මෙලොව නිර්මිත විස්කම් නිමැවුම්වල සැබෑ නිර්මාණකරුවන් කවුරුද යන්න ප‍්‍රසිද්ධ වී ඇත්නම් ඒ අතලොස්සක්ම පමණි. ලංකාවේ කොතැනක වුව, දෑසේ ගැටෙන සුවිසල් නිර්මාණ, තැනූයේ කාගේ දෑතේ ශක්තියෙන්දැයි බොහෝ දෙනා නොදනිති. එය ම මහා විස්කම් කරන මහා ප‍්‍රාඥයින් වෙනුවෙන් වූ මහජන ගෞරවය අහිමි වීමකි. එබැවින් අපි ඔහු සොයා ගියෙමු.

මහනුවර නගරය දෙස ශාන්ත දෑසින් නෙත් යොමා සිටින, අඩි අසූඅටක් උසැති වැඩහිඳින බහිරවකන්ද බුදු පිළිම වහන්සේ, නොදකින සෙංකඩගලපුර වැසියෙක් නැත... නන්දෙසින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් පවා, මෙම ශාන්ත බුදු පිළිම වහන්සේ දැක මහා අපූරු නිර්මාණයකැයි සිත්සනහා උන්වහන්සේ වැඩ හිඳිනා බහිරවකන්ද ශ‍්‍රීමා බෝධි මහා විහාරය වෙත පියනගන්නේය. එනමුත් බුදුරජාණන් වහන්සේ මේසා ශාන්ත ලෙස මෙතැන වැඩහිඳුවාලන්නට උරදුන් ඒ මහා ශක්තිවන්ත උත්තම පුරුෂයා සොයා යන්නට කිසිවෙක් උත්සාහ නොකරන්නට ඇත. ඔහු සමරවීර ආරච්චිලාගේ ඇල්බට් විජේසේකර ය.

ඇල්බට් විජේසේකර මහතාව බොහෝ දෙනා හඳුනන්නේ, ගිරාගම සෞන්දර්යය ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසය. විශ‍්‍රාම සුවයෙන් සිටින ඇල්බට් මහතාගේ අතීතාවර්ජනය රටටම වැදගත් වන කරුණු රැසක් ඇත්තේය. පළමුවැන්න ඔහු ගුරුවරයකුගේ මග පෙන්වීමක් නොමැතිව සිය ජන්ම කුසලතා වර්ධනය කරගත් අයකු වීමය. දෙවැන්න රට පුරා ප‍්‍රසිද්ධ ස්ථාන රැසක අතිවිශාල පිළිම නෙළා ඇත්තේ මොහු වීමය.

කෑගල්ල දැදිගම බටුවන ග‍්‍රාමයේ, එස්.ඒ. පොඩි අප්පුහාමි පියාට සහ පොඩිහාමිනේ මවට දාව එක්දහස්නවසිය තිස්හයේ ඔක්තෝබර් මස දොළොස් වැනි දින උපන් ඇල්බට් විජේසේකර මහතා සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුතු පවුලේ පස්වැන්නාය. බටුවන ප‍්‍රාථමික විද්‍යාලයෙන් සිප්සතරට අත්පොත් තැබූ ඔහු අටවැනි ශේණියේ සිට නියදුරුපොළ සිරිපැරකුම් මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය.

පොල්ගොල්ල ගුරු අභ්‍යාස විද්‍යාලයේ අඩි තුනක් උසැති පිළිමයක් තනා ප‍්‍රකටව එහි අනුහසින් අහස උසට වූ සුවිසල් පිළිම නෙලන්නට දෑත් ශක්තිමත් වූ ඇල්බට් මහතාගේ උපන් හැකියාව පිළිබඳ අපි ඔහුගේ වචනින්ම අසා සිටිමු.

මං පුංචි කාලේ තනියෙන් කාලය ගත කරන්න බොහොම කැමතියි. අයියලා අක්කලා නංගිලා මල්ලිලා මහ පිරිසක් අපේ ගේ ඇතුලේ හිටියාට මම ඒ අය එක්ක සෙල්ලම් කරන්නවත් ගියේ නැහැ. ඉස්සර අපේ ගෙදර එම්. සාර්ලිස් මහත්තයා ඇන්ද චිත‍්‍ර දෙකක් එල්ලලා තිබුණා. එකක් සිදුහත් උපත, අනෙක මාර පරාජය. මං මේ චිත‍්‍ර දෙක දිහා ඇති තරම් බලා ඉඳලා තියෙනවා. මේ චිත‍්‍ර දෙක ඇතුලේ මම හීන මවනවා. මමත් ඒ අවස්ථාවල එතන ඉන්නවා කියලා මනෝලෝකයක සැරි සරනවා. ඒ චිත‍්‍ර දිහා බලාගෙන මම චිත‍්‍ර ගොඩාක් ඇන්දා.

ඒ කාලේ කරන්ට් නැහැ. අම්මා ගෙදර ඉඳන් ළමයි දහදෙනා බලා ගෙන උයා පිහාගෙන හිටියා. තාත්තා හොඳ ගොවියෙක්. ඒ වගේම මේසන් වැඩත් කළා. මේසන් වැඩත් හොඳටම පුළුවන්. ගෙදර තිබුණෙ ලාම්පු. මම රෑට හොරෙන් ලාම්පුව තියාගෙන චිත‍්‍ර ගොඩක් ඇඳලා තියෙනවා. මේවා දැකලා අම්මායි තාත්තායි මට චිත‍්‍ර කොළ, පාට කූරු, ගෙනැත් දෙනවා. මගේ වැඬේ චිත‍්‍ර අඳිනවා.

තාත්තා හේන් ගොවිතැන්, කුඹුරු ගොවිතැන් කරන අතරේ තමයි මේසන් වැඩ කළේ. තාත්තා බොහොම දක්ෂයෙක් ගමේ මිනිස්සු පිට මිනිස්සු තාත්තා හොයාගෙන ඇවිත් මේසන් වැඩට එක්ක යනවා මට මතකයි. මම තාත්තා එක්ක පස්සෙන් වැටිලා යන්න බොහොම කැමතියි. මොකද තාත්තා හැම වැඩක්ම බොහොම සුරුහමට කරනවා. බලා ඉන්න ආසයි... තව දෙයක්. තාත්තා ගේ පස්සෙන් වැටීගෙන ගිහාම මට දවසම ගෙවන්න ලැබෙන්නේ ගස් උඩ ගල් උඩ. සොබා දහම එක්කමයි. ඒ තරම් සතුටක් මට නැහැ. පලතුරු ගස් අස්සේ ඉඳන් සත්තු කරන දේවල් බලන එක තමයි මට තිබුණු ලොකුම ආසාව. සාමාන්‍ය පෙළට පස්සේ මාව කොළඹ ඇරලා චිත‍්‍ර ඉගැන්නුවා. අවුරුදු හතරක් සෞන්දර්යය චිත‍්‍රකලා අධ්‍යයන කේන්ද්‍රයේ චිත‍්‍ර ඉගෙන ගත්තා. අමරදේව මාස්ටර් එහේ එන නිසා මට සංගීතය ගැන ඇල්මකුත් ඇති වුණා. මම සංගීතයත් ඉගෙන ගත්තා. එස්රාජ් එක වාදනය කරන්නත් හොඳට පුළුවං වුණා.

ඔය කාලේ ජේ.ඞී.බී. පෙරේරා, ඬේවිඞ් පෙන්ටර් වැනි ගුරුවරු මගේ හැකියාව දැකලා මට බාහිර චිත‍්‍ර පෝස්ටර් ලේබල් අඳින වැඩ අල්ලලා දුන්නා. මට හොඳ ගාණක් අතට ලැබුණා. මම ඒ දවස්වල ගෙදර යන්නේ රස්සාවකට ගිහින් ගෙදර යනවා වගේ.

ලේක්හවුස් එකේ චිත‍්‍ර ශිල්පියෙක් විදිහට මාව තේරුණා. ඒ සතුට කියන්න ගුණසේන සර් ළඟට ගිහාම සර් කිව්වා අපෝ අපෝ ඒ රස්සාවට යන්න එපා තමුන්ට හරියන්නේ ගුරු රස්සාව. රටට දැයට යුතුකම් ඉටුකරන්න ඕනෑ මනුස්සයෙක් වුණාම කියලා. ඒ ගමන රුවන්වැල්ල හුඹස්වලාන විද්‍යාලයට ගුරු පත්වීමක් අරන් දුන්නා. ඉන්පස්සේ අවිස්සාවේල්ල පුවක්පිටිය ඇස්වත්ත ගුරු විද්‍යාලයට ගිහින් ගුරුසේවය ඉගෙන ගත්තා. බුලත්කොහුපිටිය තුංබාගේ, උගන්වද්දි එන්. ඇම්. පෙරේරා මහත්තයා මගේ වැඩ දැකලා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට මාරු කළා. ඒ ඉස්කෝලේ බබලවන්න මට පුළුවං වුණා. 1970 දී ගිරාගම සෞන්දර්යය විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් විදිහට පත්වීම් ලබලා ගියා.

ඒ කාලේ මට මූර්ති වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. තාත්තා මේසන් වැඩ කරද්දි මම උදව් කළා. අපේ ගේ හැදුවෙත් තාත්තා. ලීස්තර කැටයම් එහෙම කරන හැටි මම බලන් ඉඳලා තියෙනවා. මට මහවැලියේ වික්ටෝරියා ජලාශයේ වේල්ල විවෘත කරන්න පැමිණෙන බි‍්‍රතාන්‍ය මහ රැජින පිළිගන්න තොරණක් ගහන්න වුණා. සම්පූර්ණයෙන්ම ගොක්කොළවලින් තොරණ හදලා රෑ එළිවෙනකල් වැඩකරලා මම ගිහින් නිදා ගත්තා. 1981 ඔක්තොම්බර් 25 වැනිදා රැජින තොරණ බලලා මේක හදපු කෙනා කවුද කියලා අහලා තිබුණා. නමුත් මම ඒ වෙලාවේ එතන හිටියේ නැති නිසා එතුමිය මුණගැහෙන්න බැරිවුණා. එදා ඉඳන් හැමදාම මහවැලියේ වැඩ මට ලැබුණා. අදටත් ඉංජිනේරු මහත්තුරු මාව හමුවුණාම බදාගෙන සතුට පළ කරලා කරපු වැඩ මතක් කරනවා.

පොල්ගොල්ලේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ අඩි තුනක බුදුපිළිමයක් හදන්න මට අවස්ථාවක් ලැබුණා. එතනින් පස්සේ මගේ ජීවිතේ කටයුතු බොහොමයක් වෙනස් අතට පෙරළුනා. මගේ අම්මාට තාත්තාට පිං සිද්ධ වෙන්න කියලා තමයි මම ඒ පිළිමේ හැදුවේ. මේක දැකලා දොඩම්වල තුම්බෝමළුව විහාරයේ අඩිපහක් උසැති බුදුපිළිමයක් හදන්න ආරාධනා කළා. ඒ පිළිමය හදලා පළාතම හොල්ලලා තුන්සරණේ කියලා පිළිම වහන්සේ වැඩම කළේ. ඒ දැකලා බහිරවකන්දේ එවකට වැඩහිටපු ස්වාමින්වහන්සේ මාව කැටුව ගිහින් කිව්වා මෙතැන අඩි හැත්තෑපහක් අසූවක් උසැති පිළිමවහන්සේ නමක් ඉදිකරමු කියලා. මටත් ඒ වෙද්දි බුදු පිළිම නෙළන්න පුදුම ආසාවක් ඇති වෙලා තිබුණෙ.

 මම ගිහින් වැඬේ භාර ගත්තා. කොහෙන් ආපු හයියක්ද මන්දා මට හිතුනා හොඳටම මට වැඬේ කරන්න පුළුවන් කියලා. ග‍්‍රාෆ් කොළ ගත්තා සැලසුම ඇන්දා... මැණික් මුදලාලි කෙනෙක් මුදල් වියදම් කළා. අඩි දහතුනක් යටට හෑරුවා. බෑවුම නිසා මාළිගාව දෙසට ඇලකරලා හදන්න පටන් ගත්තා. මම නැති වෙලාවක හාමුදුරුවෝ ඉංජිනේරු මහත්තුරු වගයක් ගෙන්නලා වැඬේ හරිද කියලා බලලා. මොකද මම ඉංජිනේරුවෙක් නෙවෙයිනේ. ඒ අය සැලසුම බලලා පැන්සල් ඉරිවලට ඇඟිල්ල තියලා කියලා හරියටම වැඬේ වෙනවා මේ මහත්තයාව අපිත් අඳුන ගන්න ඕනෑ කියලා.

1974 අවසානයේ වැඩෙ පටන් ගත්තේ මම රාජ්‍ය සේවයේ හිටපු නිසා හැකි හැම වෙලාවකම ගිහින් වැඬේ කළා. දවසක් පේ‍්‍රමදාස මහත්තයා පත්තිරිප්පුවේ ඉඳලා ජාතිය අමතන වෙලාවක බුදුපිළිමේ භාගෙට හදනවා දැකලා එතන හොයා ගෙන ආවා. ඒ වෙද්දි සෑහෙන දුරට වැඩ කරලා තිබුණෙ. ආ ගමන්ම ඇහුවා මේක හදන ඔබතුමා කවුද කියලා. මම කිව්වා ගිරාගම කථිකාචාර්යවරයෙක්, නමුත් මම කලාකරුවෙක් කියලා. ඉන්පස්සේ මම බුදුපිළිම වහන්සේ ඉදිකරන ක‍්‍රමවේදය පැහැදිලි කරලා දුන්නා. පහත ආසනය අඩි දොළහක් උසයි. වැඩසිටින නෙළුම්මල ආසනය අඩි පහක් එතැනින් ඉහළ බුදුන් වහන්සේගේ දණහිස්මඩල දිග අඩි හැටහයයි උස අඩි දහහතරයි, එතැන් සිට ඉහළට අඩි හැටහක්. බෙල්ල සිට ශීර්ෂය දක්වා කොටස අඩි විසි දෙකක්. සමස්ත උස අඩි අසූඅටක්. මටත් පුදුමයි මේ විශ්වකර්ම නිර්මාණය මගේ දෑතින් සිදුවීම ගැන. ඇත්තටම එය විශ්වකර්ම ක‍්‍රියාවක්. එදා මම පේ‍්‍රමදාස මහත්තයාට කිව්වා ඊළඟ වසරේ, පත්තිරිප්පුවට ගොඩ වෙලා හෝ ඊට පෙර හෝ ඇවිත් බුදුපිළිම වහන්සේ විවෘත කරන්න කියලා. එතුමා බොහොම සතුටු වුණා. පසුදාම දිස්ත‍්‍රික් ලේකම්වරයා හරහා මුදල් එවලා තිබුණා විහාරාධිපති හිමියන්ට.

 1991දී පේ‍්‍රමදාස මහත්තයා ඇවිත් විවෘත කළා. නමුත්, මට උත්සව අවස්ථාවේ පිරිස ඉන්න තැන ඉඳගන්න ආරාධනාවක්වත් නාම පුවරුවේ නමවත් දාලා තිබුණෙ නැහැ. ඒකට මට කිසිම දුකක් නැහැ. මොකද මම සතපහක් වත් නොගෙන මගේ දෙමව්පියන්ට පිං පිණිස මේ වැඬේ කළේ. අදටත් දහස් ගණනක් ජනතාව මේ පිළිමවහන්සේ දිහා බලලා සිතසනහා ගන්නවානේ. ඒ පින මට හොඳටෝම ඇති. එතැනින් පස්සේ මම ගම්පොල සාලියාල පිරිවෙනේ අඩි 132 දිගින් යුතු සැතපෙන පිළිමය හැදුවා. ඒ දැකලා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ විහාරයක කිරිදිගල ශෛලතලාරාමයේ විහාර මන්දිරයේ සමාධි පිළිමය අඩි හතලිස්පහකින් යුතුව ඉදිකළා. ඒ දැකලා සිංගප්පූරුවේ බෞද්ධ විහාරයේ සැතපෙන පිළිමය හදන්න ආරාධනා ලැබුණා. ටිකට්, ඉඳුම් හිටුම් සියල්ලත් එක්ක. ඒ විහාරයේ චිත‍්‍ර කැටයම් සියල්ලත් එක්ක මම අවුරුද්දකින් වැඩ ඉවර කරලා ආවා. අවුරුදු දෙකකට වීසා හදලා තිබුණේ. නමුත් මගේ බිරිඳ පුතා දුව මතක් වෙද්දි මට එහෙ ඉන්න බැහැ. ඒ ඇවිත්, හුන්නස්ගිරිය සමාධි පිළිමය සහ ඒ පිළිමයේ දණහිස් මඬල තුළ තවත් සැතපෙන පිළිමයක් හැදුවා. හලාවත මුන්නේෂ්වරම් කෝවිලට යාබද තුමුලසෝම පිරිවෙන් විහාරයේ මුචලින්ද නාගදරණය ආවරණය වන පරිදි සමාධිමය සම්බුද්ධ ප‍්‍රතිමාවහන්සේ නිර්මාණය කළා. මේවා මට දැන් ඉබේ සිදුවන ගාණට හුරු වුණා. ගුරුවරයෙක් නැතිව මේසා විශාල කාර්යයක් කරන්න පුළුවන් වුණේ දෙමව්පියන්ගේ හයියෙන්. ඒතැනින් අවසන් වුණේ නැහැ තවත් පිළිම වහන්සේලා විශාල සංඛ්‍යාවක් මම හැදුවා. ඔහු සැබෑ කලාකරුවෙක් බව කීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි අවැසි නැත්තේය. සමන්තී වීරසේකර
එංගලන්තයේ මහ රැජිනත් පුදුම කළ ගොක්කොළ තොරණ තැනූ අපේ ගුරුවරයා එංගලන්තයේ මහ රැජිනත් පුදුම කළ ගොක්කොළ තොරණ තැනූ අපේ ගුරුවරයා Reviewed by piyumantha dissanayaka on June 28, 2019 Rating: 5

No comments:

Powered by Blogger.