කාල වර්ණ බුද්ධරක්ඛිත තෙර, කාල වර්ණය රජයන අමාවක දින, කාල තිඹිරි ගසක් මුල, කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද "කලුදිය පොකුණ"මිහින්තලය ප්‍රදේශයේ වන්දනාවෙහි, සංචාරයෙහි යෙදෙන ඔබ යා යුතුම, එහෙත් බොහෝ විට අවධානයට ලක් නොවන අතිශය සුන්දර, වැදගත් ස්ථානයකි කලුදිය පොකුණ.
මිහින්තලය ප්‍රධාන පූජා භූමියට ඇති පිවිසුම පසුකර A9 මාර්ගය ඔස්සේ ගල්කුලම දෙසට තවත් මීටර් හයසීයකට ආසන්න දුරක් ගමන් කිරීමෙන් අනතුරුව මෙම කලුදිය පොකුණ පුරාවිද්‍යා පරිශ්‍රයට ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැකිය.
අතිශය සුන්දර සහ නිහඬ පරිසරයක්ක් දක්නට ලැබෙන මෙහි පධානගරයන්, පොකුණක්, ස්ථූපයක්, ලෙන්, ශෛලමය ගොඩනැගිලි, ඇතුළු වෙනත් නිර්මිත ගොඩනැගිලි නටඹුන් රාශියක් දැකගත හැකිය. පිහිටි ස්වභාවික පරිසර පද්ධතිය මනාව උපයෝගී කොටගෙන නිර්මිත මෙම ඉදිකිරීම් අතර ශෛලමය පියස්සක් සහිත ගොඩනැගිල්ල සුවිශේෂී වේ. එසේම ස්වභාවික ගල් පර්වත මත ඉදිකර ඇති පධානගර ගොඩනැගිලිද ස්ථානීය පාරිසරික සුන්දරත්වය ඉස්මතු කරයි.
ස්ථානයේ සුවිශේෂීම අංගය වන පොකුණ, “කලුදිය පොකුණ” ලෙස හැඳින්වේ. විශාල ප්‍රමාණයේ පොකුණක් වන මෙහි ජලය කලු පැහැයෙන් යුතුව දර්ශනය වීම නිසා "කලුදිය පොකුණ" ලෙස හඳුවනුලැබේ. අවට ඇති ශාක වැස්ම සහ කඳු ශිකරයන්හි ඡායාව ජලය මතට වැටීම නිසා කාල වර්ණයෙන් යුතුව ජල පෘෂ්ඨය දර්ශනයවන බව පෙනේ.
මෙම කලුදිය පොකුණ හා සම්බන්ධයෙන් අපූරු පුවතක් සද්ධර්මරත්නාකාරයේ දක්නට ලැබේ. සද්ධාතිස්ස රජු හා සබැඳුනු මෙම පුවතට අනුව මිහින්තලය රාජගිරි කන්දෙහි වාසය කරන ලද කාල වර්ණයෙන් යුතු බුද්ධරක්ඛිත නම් තෙරණුවන් හට අංගුත්තර නිකායේ, කාලකාරාම සූත්‍රය දේශනා කිරීමට කැමැත්තක් ඇතිවිය. ඒ අනුව ඒ සඳහා අමාවක දිනයක්ද, ස්ථානය ලෙස වත්මනෙහි කලුදිය පොකුණ ලෙස හඳුන්වන මෙම භූමියයේ පිහිටි කලු තිඹිරි ගසක් මුලද ධර්මදේශනා කිරීමට තෝරාගන්නා ලදී.
ඒ අනුව කාල වර්ණ බුද්ධරක්ඛිත තෙර, කාල වර්ණය රජයන අමාවක දින, කාල තිඹිරි ගසක් මුල, කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද අතර එය ශ්‍රවණය කිරීමට සද්ධාතිස්ස රජුද පැමිණියේය. එසේ පැමිණි රජු තමාගේ පැමිණීම හේතුවෙන් ධර්මදේශනාවට බාධා පැමිණේයැයි සිතා හිටිවනම ධර්ම ශ්‍රවණය කරමින් මහත් වූ ශ්‍රද්ධා භක්තිය උපදවාගත් බව සඳහන් වේ.
රජු කෙතරම් පැහැදුනේද යත් ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව ලංකා රාජ්‍ය බුද්ධරක්ඛිත තෙරුන්ට පූජා කර ඇති අතර තෙරණුවෝ “රාජ්‍ය දෙකක ධූර දැරීම අසීරු කරුණක් යැයි ද, අපට උරුම හිමිකම් ඇත්තේ ධර්ම රාජ්‍ය පමණක් හෙයින් ලංකා රාජ්‍ය රජුට උරුමය” යැයි පවසා එම පූජාව උපේක්ෂාවෙන් යුතුව ප්‍රතිකේෂ්ප කර ඇත.
කලුදිය පොකුණ ආරණ්‍ය සේනාසනයද මීට යාබදවම ඇති අතර එම නිසාම මෙම ස්ථානය වඩාත් නිස්කලංක ස්ථානයක් බවට පත්ව තිබේ. මිහින්තලය පූජාභූමිය වන්දනා කරන ඔබත්, මෙම සුවිශේෂී කලුදිය පොකුණ ස්ථානය නරඹා සිත් ඔප කරවාගැනීමට අමතක නොකරන්න. එසේම එහිදී ස්ථානීය සුන්දරත්වය, නිහඬබව සහ ආධ්‍යාත්මික පරිසරය සුරැකීමට ද සිත් යොමුකල යුතුය.
කාලකාරාම සූත්‍රය දේශනා කරන ලද කලුදිය පොකුණේ යටගිය ඉතිහාසය
Reviewed by gihan
on
March 22, 2020
Rating:
No comments: