අලුහම් වලින් මිදෙන්න මෙන්න මේ පිළියම් ටික හරියට කරන්න පුරුදුවෙන්න.

අලුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙම දිළීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් වර්ගයක් වන අතර, ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි කිසිඳු කුෂ්ඨයක් නොසාදමින් වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිළීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අලුහම් නැමැති කුෂ්ඨය සාදයි. අලුහම් ඇතිවන්නේ සමෙහි ස්වාභාවිකව පවතින දිළීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, අලුහම් බෝවන රෝගයක් ලෙස නොසැලකේ. අලුහම් නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර අලුහම් බහුලව පවතී. අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?



අලුහම් ඇතිවීමට හේතුවන අවදානම් සාධක

පරිසරයේ උණුසුම වැඩිවීම.
පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය වැඩිවීම.
අධිකව දහඩිය දැමීම.
පරම්පරාව තුළ අලුහම් ඇතිවීමට ප්‍රවණතාවයක් පැවතීම.
ඌණ පෝෂණය.
ගර්භණීභාවය.
ප්‍රතිශක්තිය දුර්වල වීම.


අලුහම් වල රෝග ලක්ෂණ
එය බහුලව මුහුණ, ගෙල, පපුව, පිට, කිහිලි, බාහු, සහ පාද වල හටගනී.
සමේ ආසාදනය වූ ස්ථාන පැහැදිලිව පෙනෙන, සමෙහි වර්ණය වෙනස් වූ ලප ලෙස දිස්වේ. එහි මතුපිට සියුම් පොතු පවතී.
අලුහම් රෝස, තද දුඹුරු, හෝ සුදුමැලි වර්ණයක් ගනී.
සමෙහි වර්ණය වෙනස්වීම වර්ණය වැඩිවීමක් (Hyper-pigmentation) හෝ වර්ණය අඩුවීමක් (Hypo-pigmentation) ලෙස දිස්වේ.
අලුහම් ඇතිවිට වැඩිපුර දහඩිය දැමීම සහ කැසීම ඇතිවිය හැක.


පරීක්ෂණ
අලුහම් පවතින ස්ථානයක සමෙන් සූරාගන්නා ලද කොටස් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වර්ණ ගන්වා අන්වීක්ෂයෙන් පරීක්ෂා කලවිට Malassezia furfur දිළීරය හඳුනාගත හැක.



අලුහම් වලට කලහැකි පිළියම් මොනවාද?
ක්ලොට්‍රිමසෝල් (Clotrimazole), මිකොනසෝල් (Miconazole), ඉකොනසෝල් (Econazole), හෝ කීටොකොනසෝල් (Ketoconazole) වැනි ප්‍රති-දිළීර (Anti-fungal) ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම.
කීටොකොනසෝල් හෝ සෙලීනියම් සල්ෆයිඩ් (Selenium sulfide) ෂැම්පු ආලේප කිරීම.
ප්‍රොපිලීන් ග්ලයිකෝල් (Propylene glycol), සෝඩියම් තයෝසල්ෆේට් (Sodium thiosulphate), ටර්බිනෆින් ජෙල් (Terbinafine gel), හෝ සයික්ලොෆිරොක්ස් ක්‍රීම් (Ciclopirox cream) ආලේප කිරීම.
උග්‍ර ආසාදන ඇතිවිට මුඛයෙන් ගන්නා කීටොකොනසෝල් (Ketoconazole), ෆ්ලුකොනසෝල් (Fluconazole), හෝ ඉට්‍රකොනසෝල් (Itraconazole) වැනි ප්‍රති-දිළීර ඖෂධ නිර්දේශ කෙරේ.
සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සමෙහි වර්ණය යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් වුවද ගතවිය හැක. ඇතැම් විට, සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් පසුව අලුහම් නැවත හටගැනීමට පුලුවන.

වෛද්‍ය නාලක ප්‍රියන්ත



අලුහම් වලින් මිදෙන්න මෙන්න මේ පිළියම් ටික හරියට කරන්න පුරුදුවෙන්න. අලුහම් වලින් මිදෙන්න මෙන්න මේ පිළියම් ටික හරියට කරන්න පුරුදුවෙන්න. Reviewed by Unknown on October 02, 2016 Rating: 5

No comments:

Powered by Blogger.