පල්ලවීගේ ඇත්ත පැටිකිරිය

පල්ලවී වැඩි කතාබහක් නැති බොහොම කුළෑටි කෙල්ලෙක්. එහෙත් කැමරාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම වෙනස් දඟකාර චරිතයක් බවට පත්වෙන බව පල්ලවී හා වැඩ කරන පිරිස් පවසනවා. ඇය ජෝර්ජියාවේ 'Tbilisi'  රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක්. කොයම්බතූර්හි හැදී වැඩුණු ඇයගේ අභිලාෂය හෘද රෝග විශේෂඥවරියක් වීම බව වරක් පුවත්පත් සාකච්ඡාවකදී ඇය හෙළිකර තිබුණා.
තමිල්නාඩුවේ කොටගිරියේ උපත ලැබූ මේ සුරූපිනියගේ මවුපියන් වන්නේ සෙන්තමාරෛ කන්නන් සහ රාධා දෙපළය. ඇයට බාල එක් සොහොයුරියකි. ඇය නමින් පූජා කන්නන්. ඇයත් තම වැඩිමහල් සොයුරිය මෙන්ම සිනමා රංගනයට පිවිසි අයෙක්. ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකකම හිමිකාරිනියක්. මලයාලම් බසින් 2015 වසරේදී නිමැවුණු 'Premam'   චිත්‍රපටයේ මලර් නම් චරිතය හරහා ඇය කොලිවුඩ් සිනමාවට අලුත් පරිච්ඡේදයක් එක් කළා. 2017 වසරේදී 'Fidaa'  නම් ප්‍රේමණීය සිනමා කෘතියේ 'භානුමතී' නම් චරිතයට පණ පොවමින් ඇය තෙළිඟු සිනමාව ආක්‍රමණය කළා. ඇය දෙමළ සිනමාව ආක්‍රමණය කළේ 2018 වසරේදී නිමැවුණු 'Diya'  සිනමාපටය හරහායි. ඇය 2003 වසරේදී තිරගතවුණු 'Kasthooriman'  සිනමා පටය හරහා කලඑළි බැස්සේ ළමා රංගන ශිල්පිනියක ලෙසයි.

'Premam' සිනමාපටය සඳහා ඇයට ආරාධනා ලැබී ඇත්තේ 2014 වසරේදීයි. එවකට ඇය ජෝර්ජියාවේ වෛද්‍ය විද්‍යාලයක උගන්නා සමයයි. ඇයට අධ්‍යයන කටයුතු අතරතුර ලැබුණු නිවාඩු සමයේදී ඇගේ කාලය සම්පූර්ණයෙන්ම පාහේ වෙන් වූයේ එම චිත්‍රපටයේ 'මලර්' නම් චරිතයට පණ පෙවීම සඳහායි. රූගත කිරීම් නිම වූ වහාම ඇය යළිත් තම උපාධි අධ්‍යයන කටයුතු සඳහා යොමු වී තිබුණා. ඇගේ දෙවැනි සිනමා කෘතිය වූ'Kali'හි රංගනය සඳහා ඇය එක් වනුයේ විශ්වවිද්‍යාලයෙන් මසක පමණ කාලයක් නිවාඩු ලබාගෙනයි. කේන්තිකාර සැමියකු හා දිවිගෙවන බිරියකගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මානයකට පවා නිර්දේශ වී ඇත්තේ මලයාලම් සිනමා අංශය නියෝජනය කරමින්.

බොහෝ දෙනා සිනමා තිරය මත දකිනුයේ රූපලාවණ්‍ය ආලේපන නොගැල්වූ පල්ලවීගේ සොඳුරු වතයි. ඇය ප්‍රේක්ෂකයන්ගේ සිත් පැහැරගනුයේ ඇගේ විස්මයජනක දක්ෂතාව හේතුවෙන්.'Premam'  චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වු Alphonse Puthren රූපලාවණ්‍ය ආලේපනයන්ගෙන් තොරව කැමරාව ඉදිරියේ පෙනී සිටීම පිළිබඳව තමන්ව දිරි ගැන්වූ බව ඇය පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණා. ඇය රූපලාවණ්‍ය ආලේපන භාවිතයෙන් තොර නිසාම රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුතු සම පැහැපත් කරන ආලේපන වර්ගයක වෙළෙඳ දැන්වීමක් ප්‍රතික්ෂේප කොට තිබුණේ එය ඇගේ ප්‍රතිපත්තිවලට පටහැනි බව පවසමින්. ඇයට විශ්වාසයක් නොමැති කිසිදු භාණ්ඩයක් ප්‍රවර්ධනය නොකිරීමත්, ඒ වෙනුවෙන් පෙනී නොසිටීමටත් ඇය තීරණය කොට ඇති බව පැවැසෙනවා.

ඇගේ නර්තන විලාසයෙන් මුසපත් වුණු රසිකයන් ඇය හොඳින් පුරුදු පුහුණු වුණු නර්තන ශිල්පිනියක් යැයි සිතුවත් එය එසේ නොවෙයි. ඇය නර්තනය ප්‍රගුණ කොට ඇත්තේ ඓශ්චර්යා රායි සහ මධුරි ඩික්සිත්ගේ රංග රටා සහිත වීඩියෝ පට නැරැඹීමෙන් බව ඇයම හෙළි කොට තිබුණා. තෙලිඟු නර්තන රියැලිටි වැඩසටහනක් වූ‘Dhee’ තරගාවලියේ සිවුවැනි අදියරත් සමඟ සායි පල්ලවී නර්තන කරළියට පැමිණ තිබෙනවා. එහි නිෂ්පාදක පිරිස ඇය නර්තනයේ යෙදෙන විට මුහුණින් පළවන හැඟීම් සමුදාය කැමරා කෝණවලට හසුකොට ගෙන තිබුණේ විස්මය දනවන අයුරින්. ඇය මේ නර්තන තරගාවලියට සහභාගි වනවාට මවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත්තේ නර්තන තරගය හේතුවෙන් ඇගේ අධ්‍යාපනික කටයුතු කඩාකප්aපල් වේ යැයි කියායි.

ඇය රන්ගෝලී ඇඳීමට (Rangol)  බොහෝ සෙයින් කැමති අයෙක් බව හෙළි වෙනවා. නිවෙසේදී ඇගේ ප්‍රියතම උත්සව අවස්ථාවන්හි මල් සමඟ මුසු වූ රන්ගෝලි රටාවන් මැවීමට ඇය බොහෝ විට පෙලඹෙන බව පැවැසෙනවා. තමන් කමල් හසන්ගේ රසිකාවියක් බව ඇය හෙළි කොට තිබේ. සිම්රන්, ජෝතිකා ඇගේ ප්‍රියතම නිළියන් අතර ඉහළින් වැජඹෙන අය. චොකලට් සහ පැණි රස ආහාරයන් ඇගේ ප්‍රියතම දේ අතර වේ. 2019 වසරේදී ඇගේ ආදායම රුපියල් බිලියනයක් පමණ වෙතැයි ගණන් බලා ඇත. ඇය එක් සිනමා පටයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ත් 60ත් අතර ප්‍රමාණයක් අය කරන බව පැවැසෙනවා.
පල්ලවීගේ ඇත්ත පැටිකිරිය පල්ලවීගේ ඇත්ත පැටිකිරිය Reviewed by piyumantha dissanayaka on June 22, 2019 Rating: 5

No comments:

Powered by Blogger.