මේක සෙල්ලම් නෙවෙයි හැමෝම දැනුවත් වෙන්න



මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලංකාවෙන් කොරෝනා රෝගීන් තිහකට ආසන්න ප්‍රමානයක් සොයාගෙන තියෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමන්ටත් කොරෝනා හැදෙයි ද කියන එක.තවමත් වෛරසයට බෙහෙතක් හොයාගෙන නෑ.ඒ කියන්නෙ වෛරසය ඇඟට ආවොත් මැරෙනවා කියන එක ද ? නෑ කොහොමටවත් නෑ

අපි බලමු මේ දක්වා ලෝකයේ හඳුනාගත්ත කොරෝනා රෝගීන් ට මොකද වෙලා තියෙන්නෙ කියලා. ලෙඩේ හැදිලා කියලා ඔප්පු වුනු අය සිය දෙනෙක් ගත්තොත් ඒ අතරින් අසූ පහක් විතරම ලොකු ප්‍රශ්නයක් නැතිව සනීප වෙනවා. ඉතිරි අය ගෙන් දෙන්නෙක් හතරදෙනෙක්ට විතර ජීවිතේ නැතිවෙනව. ඒ මැරෙන අය ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු හැටට විතර වැඩි අය. එහෙමත් නැත්තම් දියවැඩියාව , පිලිකා වගේ ලොකු බරපතල ලෙඩ තියෙන අය.

එතකොට ඉතිරි දහ දොලොස් දෙනා. ඒ අය තමයි මෙතනදි අපිට වැදගත්. ඒ පහලොස් දෙනා තමයි ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් හොඳ වෙන කොටස. ඒ ටික දෙනාගෙන් කීප දෙනෙක් ට හොඳටම අමාරු වෙලා දැඩි සත්කාර ඒකක වලට පවා ඇතුලත් කරන්න වෙනව.

හරි ඒ කියන්නෙ, ලෙඩ වෙන සියදෙනෙක් ගෙන් දහ දෙනෙක් ට විතර හොඳටම අමාරු වෙනව ( මැරෙන තුන් හතර දෙනත් මැරෙන්නෙ හොඳටම අමාරු වෙලා ගොඩක් වෙලාවට දැඩි සත්කාර ඒකක වලදි නෙ ).

තව ප්‍රශ්නයක් තියෙනව. වෛරසයට බෙහෙත් නැත්තම් ඉස්පිරිතාලෙ දි මොකද කරන්නෙ ? කෙනෙකුට හිතෙන්න පුලුවන් බෙහෙත් නැති නිසා ඉස්පිරිතාලෙ ගිහින් වැඩක් නෑ කියල. අපි ඒක මෙහෙම තේරුම් ගමු

වෛරසය ඇඟට ආවම අපිට ලෙඩේ හැදෙනවා. අපේ ඇඟ හිමින් වෛරසයට විරුද්දව ප්‍රති ශක්තිය දියුනු කරගෙන වෛරසය විනාස කරනව. මේකට කාලයක් යනව. මෙන්න මේ කාලය තුල වෛරසය අපේ ඇඟේ එක එක අවයව වලට පහර දෙනව. අන්න එතකොට ලෙඩාගෙ ජීවිතේ අනතුරේ වැටෙනව. අපි ඉස්පිරිතාලෙදි කරන්නෙ ඒ විදිහටඇතිවෙන ප්‍රශ්න වලින් ලෙඩා මැරෙන එක වලක්වන එක.

පෙනහලු දුර්වල වෙනකොට ඔක්සිජන් දෙනව. හුස්ම ගන්න බැරි වෙනකොට බටයක් දාල මැශින් එකකට සවි කරල හුස්ම ගන්න උදවු කරනව. මොනව හරි කරල වෛරසය විනාස කරන කල් ලෙඩා මැරෙන්න නොදී තියාගන්නව. වෛරසය විනාස වුනාම ලෙඩා ආපහු සාමාන්‍ය තත්වයට එනව.

දැන් හිතන්න බැරිවෙලාවත් ඉස්පිරිතාලෙකට නොගියොත් ඔය කියන අමාරු අය දහ දෙනාටම මැරෙන්න වෙනව. ඒ වගේම තමයි ඉස්පිරිතාලෙට ගියත් ඒ වෙනකොට ඒ අයට බෙහෙත් කරන්න ඉස්පිරිතාල වල පහසුකම් නැත්තම් ඒත් ඒ අයට මැරෙන්න වෙනව.

මුලු ලංකාවම ගත්තත් අපිට දැඩි සත්කාර ඒකක වල ඇඳන් තියෙන්නෙ ඉතාම ටිකයි. ඒ ටිකත් හැම වෙලාවකම පිරිල තියෙන්නෙ. දැන් තේරෙන්න ඕනෙ දැඩි සත්කාර ඒකක වලට දරාගන්නබැරි තරම් ලෙඩ්ඩු එක පාර ආවොත් ලෙඩෙන් මැරෙන ප්‍රමානය ගොඩක් ඉහල යන බව. මොකද එහෙම වුනොත් ඉස්පිරිතාල වලට තීරණා කරන්න වෙනව තියෙන ඇඳන් ටික දෙන්නෙ කාටද , නොදෙන්නෙ කාටද කියල. සමහරවිට ඒ වගේ වෙලාවට වයසක කෙනෙකුට නොදී ඇඳ තරුණ කෙනෙකුට දෙන්න වෙන්න පුලුවන්. ඒ ඇඳක් නැති නිසා අවධානමට වැටෙන්නෙ තමන් ගෙ අම්ම හරි තාත්ත හරි වෙන්න පුලුවන්.

දැන් තේරෙන්න ඕන මරන ප්‍රමානය අඩුවෙන්න නම් ලෙඩේ බෝ වෙන වේගය අඩු කරලා තියාගන්න ඕන කියලා. මොකද ලෙඩේ හැදෙන එක සම්පූර්ණයෙන් නවත්තන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව

ඉතින් කොහොමද ලෙඩේ බෝවෙන එක අඩු කරන්නේ ? ඒකට සොබාදහම අපිට ලොකු අවස්තාවක් දීල තියෙනව. ඒ තමයි වෛරසය පැතිරෙන්නෙ කහිනකොට විසිවෙන කෙල බිඳිති වලින්. ඒව විසිවෙන්නෙ ලෙඩේ තියෙන කෙනෙක් කහින කොට එයාගෙ ඉඳලා මීටරයක් දුරට. එහෙම නම් ලෙඩේ හැදෙන්න එක්කො ලෙඩෙක් කහින කොට එයාට මීටරයකට වඩා ලඟින් ඉන්න ඕන්. නැත්තම් ඒ විසිවෙච්ච කෙල බින්දු අතක ගාගෙන ඒක මූනෙ ගාගන්න ඕනෙ.

ඒ කියන්නේ ඉතාම සරල ක්‍රම හතර පහකීන් අපිට මේ ලෙඩ බෝ වෙන එක නවත්ත ගන්න පුලුවන්.

1. සෙනග ඉන්න තැන් වලට නොයා ඉඳීම

2. නිතර අත් සේදීම. වතුර සහ සාමාන්‍ය සබන් හොඳටම ප්‍රමානවත්. වතුර නැතිම වෙලාවක විතරක් ඇල්කොහොල් සහිත අත් සෝදන දියරයක් පාවිච්චි කරන්න පුලුවන්.

3. තමන් ලඟ ඉන්න කෙනා සමග මීටරයක දුරක් තබා ගැනීම

4. කහින විට නාසය සහ කට වසා ගැනීම. මේකට ලේන්සුවක් හරි වැලමිටේ ඇතුල් පැත්හ හරි පාවිච්චි කරන්න පුලුවන්

5. මුහුන ඇල්ලීමෙන් වැලකී සිටීම

6. අනිත් අයව ස්පර්ශ කිරීම , අතට අත දීම හැකි තාක් අඩු කිරීම.

එතකොට මුහුනු ආවරණ ? සරලවම කියන්න තියෙන්න මුහුණු ආවරණයක් පලඳින්න ඕන කොරෝනා රෝගියෙක් එක්ක කෙලින් ම ගනුදෙනු කරන සෞඛ්‍ය සේවකයෙක් විතරයි. මොකද මේ තියෙන තත්වෙ යටතෙ මුහුනු ආවරනයකින් ලබාගන්න පුලුවන් ආරක්ශාවක් නැති තරම්. මොකද මුහුනු ආවානයකින් වැඩක් වෙන්න රෝගය තියෙන කෙනෙක් ඔබේ මුහුන ඉදිරියෙන් මීටරයකට වඩා අඩු දුරකින් ඉඳගෙන කහින්න ඕන. රටේ දැනට ඉන්නෙ හඳුනාගත් රෝගීන් තිහකට අඩු ගානක්. ඒ අය ඉන්නෙ ප්‍රතිකාර ලබමින්. ඒ තිස් දෙනා සමග කිට්ටුවෙන් කටයුතු කල බොහෝ අය ඉන්නෙ සෞඛ්‍ය අංශ වල නිරීක්ශනය යටතෙ. දැනට හඳුනාගත් රෝගීන් ඇතුලත් කරන්නෙ තෝරාගත් ඉස්පිරිතාල කීපයක විතරක් නිසා හැම ඉස්පිරිතාලෙමත් කොරෝනා රෝගීන් නෑ. ඒ කියන්නෙ කොරෝනා රෝගියෙක් කෙනෙක් ගෙ මුහුනට මීටරයකට අඩු දුරක ඉඳන් කහින්න තියෙන ඉඩකඩ කොයි තරම් අඩු ද කියල හිතාගන්න.

ඒත් මුහුනු ආවරනයක් දාපු වෙලාවෙ ඉඳන් අපි කරන්නෙ ඒක අල්ලන එක සහ සකස් කරන එක. එහෙම කරාම අතේ තියෙන විසබීජ මූනෙ ගෑවෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙලා ලෙඩේ හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙනව. අනික නහය සහ කට වහගත්තත් කෙල බින්දු ඇහැට වැටුනොත් ලෙඩේ බෝ වෙන්න පුලුවන්. ඒ නිසා මුහුනු ආවරනයක් දාගෙන ඒක අල්ල අල්ල ඉන්නවට වඩා ගොඩක් ලේසියි කෙනෙක් ට ටිකක් දුරින් ඉන්න එක සහ තමන් ගෙ මුහුන අල්ලන්නෙ නැතිව ඉන්න එක.

අනිත් එක මේ වෙලාවෙ අපි ඉන්නෙ ලොකු ආර්තික ප්‍රශ්නෙක. හැමෝඅම මුහුනු ආවරන දාන්න ගත්තොත් මිලියන විස්සක් දවසට දෙකක්. . ඒ කියන්නෙ අඩුම තරමෙ දවසට මිලියන හතරක් මුහුනු ආවරන. ඒක ලොකු නාස්තියක්.

ඉතිං මේ වෙලාවෙ අපිට කරන්න පුලුවන් එකම දේ මේ කියන සරල කාරනා ටිකට පුරුදු වෙලා දවසකට ලෙඩ වෙලා එන ප්‍රමානය අපිට දරාගන්න පුලුවන් මට්ටමක තියාගන්න එක. එහෙම උනොත් අපේ ඉස්පිරිතාල ඉතුරු ටික බලාගනී. ඒක කරන්න පුලුවන්.

වෛද්‍ය නුවන් තොටවත්ත
මේක සෙල්ලම් නෙවෙයි හැමෝම දැනුවත් වෙන්න මේක සෙල්ලම් නෙවෙයි හැමෝම දැනුවත් වෙන්න Reviewed by gihan on March 22, 2020 Rating: 5

No comments:

Powered by Blogger.