![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOE-pumnDnRWzkXqKmlYglA820EPi7bIOzFaR0Ghli2mpygwrs9gQxJNt0p3kl-YkMGLQ9d6TUd5JATfkHWGzAZ-IZ-CWNR60HtyZJn_oJf1QZilnWbr2MO0Zr6N5dnz_DLBBQDAuzmVa4/s1600/Video-Banner+%25281%2529.png)
ජගන් මෝහිනී මධුර භාෂිණී
චාරු දේහිණී කමල භාෂිණී
සරස්‌වතී දේවී වන්දේ – සරස්‌වතී දේවී
සරස්‌වතියගේ බැල්මේ අඩුවක් නැත. ඔහු පාසල් වියේදීම වයලීනය වයන්නේ අනාගතය ගැන පෙරනිමිති පෙන්වමිනි. දස්‌කම් නිසාම ශිෂ්‍යත්වයක් ලබා භාරතයට යැමේ වාසනාව ඔහුට උදා වේ. මේ දක්‌ෂ සිසුවාට සමුදෙන්න ඔහු ඉගෙනගත් පාසල් මාතාවට කැමැත්තක් නැත. ඒත් සංගීත ලෝකයේ හිනිපෙත්තටම යන මං සලකුණු පෙන්වන, යොවුන් වියේ එළිපත්තේ සිටින මේ සිසුවා වෙනුවෙන් පාසල සමුගැනීමේ උළෙලක් සංවිධානය කරයි. සමුගැනීමට පාසලට එන ඔහු පිළිගැනීමේ නර්තනය ඉදිරිපත් කරන්නී, රජයේ කලායතනයේ සිසුවියකි. ඇය මංගලම් නැටුම නටා ඔහු පිළිගනී. මල් මාලයක්‌ද ඔහු ගෙළ පළඳවන්නීය. දෙදෙනාගේ දෙනෙත් එකිනෙක යාවේ.
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා… අසා සිටිනවා
දෛවය… පුදුමාකාරය. එදා ඔහුට ‘මංගලම්’ කී ඈ පසුව ඔහුගේ ප්‍රිය බිරිය වූවාය. එදා සිට ඈ ඔහු සමඟය. නමුත් ඇයගේ පමණක් නොව ජාතියේම දෑසට කදුළු නංවා ඔහු සමුගෙන ගොසිනි. සියල්ල ඉවසා දරා සෙවනැල්ල සේ ඔහු සමග ඈ සිටියාය. “සියල්ල හැර දා යා යුතුය” යන න්‍යාය කරමින් ඔහු අද නික්‌ම ගොසිනි. සුමිහිරි තත් පිරිමැද්දු ඒ අතැඟිලි අද සීතලය. රටක් මතකයේ තබා ගත් ඔහුගේ මියුරු හඬ අද නිහඬය. රටක් ආදරය කළ ඒ කය නිසලය. මේ පළවන්නේ ආචාර්ය අමරදේව, සිය නිවසේ පුවත් පත් සම්මුඛ සාකච්ඡාවක් වෙනුවෙන් ලබා දුන් අවසාන හෝරා කිහිපයක මතකය.
අමරදේව ප්‍රිය භාර්යා, විමලාවෝද එහි වූහ.
වඩු මඩුවක ලී තැලෙන, කැපෙන හඬ අසමින් උපන් ඔහු, මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් අමරදේවයන් ලෙස නම් මාරු කර, ගෞරව බහුමානයට පත් කළහ. අමරදේව ජාතියේ මහා වාසනාවක් විය. අද ජාතියේම නෙත් කඳුළින් තෙත් වන්නේ, එදා ඇල්බට් ලෙස උපන් අමරදේවයෝ සිය සංගීත මල් සුවඳ මේ දෙරනෙත, සදාකාලිකව සුවඳ කරනු වස් ඉතිරි කර නික්‌ම යන බැවිනි.
අමරදේවයන් සහ විමලා අමරදේව ඒකට හිඳ අවසන් වරට ලබා දුන් පුවත්පත් සාකච්ඡාවයි මේ.
ඇය උපන්නේ ඔහුට වඩා අවුරුදු හතකට පසුවය.
යොවුන් වියේදී… ආදරයෙන් බැඳුණු දෙදෙනා අදත් එසේමය… වෙනස, එදාට වඩා දෙදෙනාම අද වයසින් මුහුකුරා යෑමය. වියපත් වීමය.
කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ…
ඔහු හෙළයේ මහා ගාන්ධර්වයා පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයෝය. ඈ… ඔහුගේ සෙවනැල්ල… විමලා අමරදේවය.
“මට වයස අවුරුදු හතේදී තාත්තා වයලීනයක් තෑගි දුන්නා.
“අපෝ… මෙතුමාගේ ප්‍රථම ප්‍රේමය මම නොවෙයි වයලීනයයි. මට වඩා ආදරය කළේ වයලීනයට….” විමලා අමරදේව සිනාසෙමින් කියද්දී අමරදේවයන් ද සිනාසෙන්නට පටන් ගත්තේය. මඳ වේලාවක් සිනාසෙමින් සිටි ඔහු යළි හඬ අවදි කළේය.
ඒ තාත්තා හදාපු වයලීනයක්. තාත්තා මොරටුවේ හිටපු හොඳම වඩු කාර්මිකයෙක්. එදා ඉඳලා මම වයලීනය පුහුණු වුණා. මගේ ලොකු අයියා එම්. ජී. පෙරේරා කලායතනයේ ඉගෙන ගත්තා. ඔහු මට වයලීනය පුහුණු කළා. අයියා අද අප අතර නෑ. අපේ තාත්තාට පුළුවන් වයලීනය අකුරට ටියුන් කරන්න. තාත්තාත් හොඳ වයලීන වාදකයෙක්. මට ඒ ආභාෂය ගෙදර තිබුණා. අමරදේවයෝ අවුරුදු අසූවක පමණ අතීතය යළි ආවර්ජනය කරන්නට පටන් ගත්තේය. මගේ අම්මා මෙතෝදිස්‌ත. තාත්තා බුද්ධාගමේ. මම අම්මා එක්‌ක ඉරිදා පල්ලි යනවා. ගීතිකා ගායනා කරනවා. තාත්තා එක්‌ක පන්සල් යනවා. ගාථා කියනවා. දොරකඩ අස්‌න පවා මම කියා තිබෙනවා. ඉස්‌සර මම චිත්‍රපට බලන්න යන්නේ ඉංගී්‍රසි මැඩ්ලීනයත් අරගෙන. චිත්‍රපටයේ ගීත යද්දී මම හොඳට අහගෙන ඉඳලා මතකෙ තියා ගන්නවා. ඉන් පස්‌සෙ ගෙදර ඇවිත් ඒ ගීය මැඩ්ලිනයෙන් වාදනය කරනවා. එහෙම තමයි ඒ කාලේ ජීවිතය. ඒ කාලේ මම ඇල්බට් පෙරේරා…
ඔහු තම නම අමරදේව වූ හැටි ද සිනාසෙමින් විස්‌තර කළේය.
හතළිස් ගණන්වල සැළලිහිණි මුද්‍රd නාට්‍යයේ කවි ගායනා කළේ මම. සංගීතය හැදුවේත් මම. ඉතින් මම සැළලිහිණියේ කවි ගායනා කරන අයුරු එවක ලංකාදීප පත්තරේ ඩී. බී. ධනපාල මහතාත්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අහගෙන ඉඳලා. මේ ළමයා මේ විදිහට කවි ගායනා කරනව නම් සිංදු කිව්වොත් කොහොමට හිටීවිද…. කියලා ඒ දෙන්නා කතා වෙලා ඉන් පස්‌සෙ මාව භාරතයට යවන්න ලංකාදීප පත්තරෙන් ශිෂ්‍යත්වයක් ආරම්භ කළා. ජනතාවගෙන් ඒ ශිෂ්‍යත්ව අරමුදලට සල්ලි එකතු කළා. සමහරු රුපියල, දෙක අරමුදලට එව්වා. ඒ ශිෂ්‍යත්වය හැදුවේ මා වෙනුවෙන්මයි. ජනතාවගේ මුදලින් මම භාරතයට ගියා. අදත් මම මගේ රටට ජනතාවට ණයගැතියි එදා මට කළ උපකාරයට.
මම පනස්‌තුනේ ඔක්‌තෝබර්වල භාරතයට ගියා. සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා ඇල්බට් පෙරේරා කියන නම සුදුසු නෑ කියලා. අමරදේව නමින් මගේ නම එතුමා වෙනස් කළා… රටේ ජනතාව මට කළ උදව්වට පෙරළා මමත් උදව් කළ යුතුයි. ඉතින් ඒ කළගුණ සැලකීමට තමයි අමරදේව පදනම හරහා මම අනාගත පරපුරට සංගීත ඥානය ලබාදෙන්න මේ වැඩමුළු ඉදිරිපත් කරන්නේ. මගේ පුතා රංජන ඒ සඳහා මූලික වී සිටිනවා….
මට මතකයි මගේ අම්මා රෝහල්ගත වෙලා හිටියා. මම අම්මව බලන්න රෝහලට ගියා. මට හරිම දුකක් දැනුණා. මම රෝහලට ගියෙත් මැඩ්ලීනය අරගෙන. රෝහලේ ඉඳලා මම දුකෙන් ගෙදර ආවා. අම්මා කෙරෙහි මට පුදුමාකාර සෙනෙහසක් දැනුණා. ‘පාරමිතා බල’ ගීයට මුල්වුණේ මගේ ඒ මව් සෙනෙහස. ‘අමා මෑනි… යෑයි කී අමරදේවයන් සර්පිනාව අසලට පියමං කළේය. ඔහු එය වයන්නට පටන් ගත්තේ ඒ ගීයද ගයමිනි.
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ…
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ…
මේ ගීය තැටිගත කළේ හැඳල විජය චිත්‍රාගාරයේ. මිශ්‍රා කියන පටිගත කිරීමේ ශිල්පියා තමයි එදා හිටියේ. මමත් නන්දා මාලිනිත් ගීතය ගැයුවා. ඒත් පටිගත කිරීම මගදි නතර කරලා. බැලින්නම් ගීයේ රසයට වශීවෙලා මිශ්‍රාට රෙකෝඩ් කරන්න අමතක වෙලා. ඉතින් අපි ආයෙත් මුල ඉඳලම සිංදුව කිව්වා… අමරදේවයෝ යළි සිනාසෙන්නට පටන් ගත්හ.
මොහිදින් බෙග් මට ආමන්ත්‍රණය කළේ පුංචි සාදු කියලා. මම එතකොට පොඩියි නේ. ‘අශෝකමාලා’ චිත්‍රපටයේ මම වයලීනය වාදනයටයි ගියේ. ගවුස්‌මාස්‌ටර් තමයි සංගීතය අධ්‍යක්‌ෂණය කළේ. ඒත් චිත්‍රපටයේ මට තාපසයෙක් විදිහට රඟපාන්නත් වුණා.
මම රඟපෑවේ මා විසින්ම ගායනා කරන ‘ඇයිද කළේ යමෙක් ආලේ’ ගීය ගයමින්. ගවුස් මාස්‌ටර් මට හරිම ආදරෙයි. ඒ කාලේ තමයි බෙග් මට පුංචි සාදු කියලා කිව්වේ. ඉන් පස්‌සෙ මම රඟපෑවේ නෑ. මට මතකයි ගවුස් මාස්‌ටර් චිත්‍රපටයේ නාමාවලියේ මගේ නම සඳහන් කළේ ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා සහය සංගීත අධ්‍යක්‍ෂවරයා කියායි. ගවුස් මාස්‌ටර් ඒ වෙද්දී මගේ දස්‌කම් හඳුනාගෙන හිටියා. මේ අතීතය මතක් වෙනකොටත් ලොකු ආශ්වාදයක් දැනෙනවා. අද ඉන්න පරපුරට මේ වගේ අතීතයක් අත්දැකීමක් නෑ… අපි එදා කැපවුණා. ප්‍රතිභාව ව්‍යqත්පත්තී සහ සතතාභ්‍යාසය අද දරුවන්ට නෑ. අපි එදා වියත් පඬිවරු ඇසුරු කළා… මම භාරතයේදී වයලීන වාදනය ඉගෙන ගත්තේ පද්ම විභූෂණ විශ්ණු ගෝවින්ද ගුරුතුමාගෙන්… එක් පසෙක වයලීනයක් සහ සර්පිනාවකි. අනෙක් පස තබ්ලා යුගළයකි. ඊට මැදිව ඔහු තැන්පත් ලීලාවෙන් හිඳ සිටී. දකුණතින් පුටු ඇන්දට තට්‌ටු කරමින් ඔහු ගීයක් මුමුණයි. සෙවනැල්ලවන් විමලාවෝ ඔහු අසලටම වී සිටිති.
ඔහුගේ නිවහනේදී අප ඔහු හමු වූයේ පැයක් තුළ කතාබහ අවසන් කිරීමේ පොරොන්දුව මතය. ඒ ඔහුගේ විවේක සුවයට මුල්තැන දීමේ අදිටනි. එහෙත් කාලය ගත වනු නොදැණිනි. පැය දෙකකට තුනකට වඩා ඔහු අප සමඟ ගත කළේය. සැබවින්ම එය සුන්දර මොහොතක් යළි නොලබන අපූර්ව අත්දැකීමක් බවට පත්විණි. මෙතුමාගේ සහකාරිය වීමේ නිලය මට ලැබෙද්දී ටිකක් බය හිතුණා. ආසාවකුත් තිබුණා. ආසයි බයයි දෙකම. මේ වගේ කෙනෙක් කොහොමද මම බලාගන්නේ කියන බයයි මට ඇති වුණේ. මම මෙතරම් කාලයක් මේවා සඟවා ගෙන හිටියා. දැන් කියන්න ඕනෙ. ජීවිතය කියන්න බෑ. හදිසියේ මම මැරුණොත් ඒ නිසයි මේවා කියන්නේ යෑයි පවසමින් අමරදේවයන්ගේ ප්‍රිය බිරිඳ විමලා අමරදේව අප සමඟ කතාබහ ඇරඹුවාය.
මෙතුමා එක්‌ක එන්න කළින් මමත් ක්‌ෂේත්‍ර ගණනාවක හොඳට කරණම් ගහපු කෙනෙක්. මම ජනගී ගැයුවා ටවර්හෝල් නාට්‍යවල රඟපෑවා නැටුම් කළා සංගීතය කළා. මේ ඔක්‌කොම දේවල් පෙට්‌ටගමක දාලා ලොකු ඉබ්බෙක් දාලා පැත්තක තිබ්බා. ඉන් පස්‌සෙ මෙතුමා පසුපස ආවා.
ඕ මෙසේ පවසද්දී අමරදේවයන් සිනාමුසුව ඒ අසාගෙන සිටියේය.
මෙතුමා පුංචි බිලිඳෙක් හා සමානයි. තක්‌කඩිකම්, සූත්තර, හොරමැරකම් මොකුත් දන්නේ නෑ. මිනිස්‌සු හඳුනා ගැනීමේ ප්‍රඥාව මට තියෙනවා. මම බොහෝම සෙවිල්ලෙන් ඉන්නේ සමහරු එනවා මෙතුමාට කියලා දේශපාලනයට සම්බන්ධ වොයිස්‌කට් ගන්න සල්ලිදීලාත් ගන්න බැලුවා. සල්ලි මට අලුයම ලූ කෙළපිඬක් හා සමානයි. මම ඒ අයට පහදා දීලා ප්‍රතික්‌ෂේප කළා. ඒ අවස්‌ථාවලදී අනෙක් අය කළ දේ මෙතුමා කළේ නෑ.
ඒ මම මෙතුමා පසු පසින්ම සිටි නිසා. ඒ නිසා තමයි දේශපාලනයටත් මෙතුමා ගියේ නැත්තේ. මම එය උපක්‍රමශීලීව වැළැක් වූවා.
සැබෑවකි…. අමරදේවයන් දේශපාලන වශයෙන් කිසිදු පිලකට නොමැත. ඒ නිසාමය ජනතාවගේ ප්‍රසාදය. ආදරය නොමඳව ඔහු ලබමින් සිටින්නේ.
කොයිවෙලේත් මම මෙතුමා එක්‌ක ඉන්නවා. කාටත් එන්න බෑ මට හොරෙන්. ඒ නිසානේ අදටත් ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ලස්‌සනට ඉන්නේ. එතුමා කීකරුව හැදුණ දරුවෙක්. හිතුවක්‌කාර නෑ. කියන දේ අහනවා.
එසේ කියද්දී අමරදේවයෝ ඈ වැළකීමට උත්සාහ කරති.
මෙතුමා කැමති නෑ මේවා කියනවාට මම නිතරම එතුමාගේ ලෝකයේ සැරිසරන්න එතුමාට ඉඩදීලා ඉන්නේ. එතුමාගේ ලෝකය ගාන්ධර්ව ලෝකයයි.
ඔහු යළි සර්පිනාව වයමින්………
මුවරද පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
දේදුන්නේ පැහැයේ සඳේ නැත ආදරේ
හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ
මේ ගීතය මහාචාර්ය විමල් දිසානායක හුඟාක් කලින් හදලා දුන්නේ ඈ කීවාය.
‘තනුව මගේ’ අමරදේවයෝ කීහ.
ජගන් මෝහිනී මධුර භාෂිණී
චාරු දේහිනී කමල වාසිනී
සරස්‌වතී දේවී වන්දේ…
ඔහු යළි සර්පිනාව වයමින් ගයයි.
මේ ලෝකේ නැතිව අපිව වෙන ලෝකයකට ගෙනියනවා වගේ නේද විමලාවන් අපෙන් විමසුවාය.
මුල්ම සරසවි සම්මාන උළෙලට මානවසිංහයන් හැදූ තේමා ගීතය තමයි ඔය සරස්‌වතී ගීය. ඒ කාලේ සරසවිය කර්තෘ තුමා විමලසිරි පෙරේරා මහත්තයා… අමරදේවයන් කියද්දී එයාගේ තාත්තා බොරලැස්‌ගමුවේ කවියා ඈ යැයි කීවාය.
ඔහු යළි සර්පිනාව අසලට ගොස් එය වයමින් ගැයීම ආරම්භ කළේය.
කරදර පොදි බැඳ ගැලපිට පටවා
කරුමය කළු ගොනු පෙරටුව බැඳගෙන
මේ ජීවන මග අප යනවා
ඒ ගමනේ දුක් දාහේ නිවාලන
ගී පද මුවගින් පිටවෙනවා
සුන්දර අතීතය ගැන බොහෝ දෑ ඔහු අප සමඟ යළි ආවර්ජනය කළේය. ඒ සෑම අවස්‌ථාවකදීම අමරදේවයන්ගේ මුවග සුන්දර සිනහවක් පහළ විය.
නික්‌ම ගිය මතකයක් ලෙස ඔහුට ජාතිය සමුදෙන්නේ නැත. සිංහල ගීතය, සංගීතය, සිනමාව ඈ මහ කලා යායන් ඔහු විසින් සරු සාර කර තිබේ.
ජාතියේ සුභාවිතය…
ආචාර්ය අමරදේවයාණනි,
පිං කෙත හෙළ රන් දෙරණේ යළි යළිත් ඉපදේවා…·
මෙතුමාගේ ප්‍රථම ප්‍රේමය මම නොවේ... වයලීනයයි - විමලා අමරදේව.
Reviewed by Unknown
on
November 07, 2016
Rating:
![මෙතුමාගේ ප්‍රථම ප්‍රේමය මම නොවේ... වයලීනයයි - විමලා අමරදේව.](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOE-pumnDnRWzkXqKmlYglA820EPi7bIOzFaR0Ghli2mpygwrs9gQxJNt0p3kl-YkMGLQ9d6TUd5JATfkHWGzAZ-IZ-CWNR60HtyZJn_oJf1QZilnWbr2MO0Zr6N5dnz_DLBBQDAuzmVa4/s72-c/Video-Banner+%25281%2529.png)
No comments: