වෙහෙර විහාර වල ඇති මිටි වාමන යක්ෂ මුහුණු පසුපස ඇති පුදුම හිතෙන කතාව

මිනිස් ශිෂ්ටාචාර පරිණාමයේදී මුල් කල මිටි මානව වර්ග ජීවත් වී ඇත. අද ද එවැනි දුෂ්කර පරිසරයක් තුළ හා පාරම්පරික භූමි ප්‍රදේශ තුළ මිටි මානව වර්ග ජීවත් වන බවට සාධක ඇත. ලංකාවේ ජීවත් වන වැද්දන් ඉන්දියාව හා ලංකාව එකම භූමියක් ලෙස තිබූ කාලයේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ගොඩබිමෙන් සංක්‍රමණය වී ඇත. බළන්ගොඩ මානවයා අඩු වශයෙන් අවුරුදු තිස්දහකට වඩා පැරණිය. වැද්දන් හා සමකාලීනව විසූ නිට්ටෑවන් අඩි තුන තරම උසැති කුරු මානව විශේෂයක් විය. නිට්ටෑ රංචු එක්වී වැද්දන්ට හිරිහැර කළ බැවින් වැද්දෝ එකතුව නිට්ටෑවන් ගල් ගෙයකට එක්රැස් කොට ගිනි තබා නිට්ටෑවන් විනාශ කර ඇත. ඒ 1950 අවධියයි.

අපේ ආගමික සිද්ධස්ථානවල ඇති කුරු බහිරව රූප විහාර , දාගැබ්වල, පාදම්වල නෙළා ඇත. ඔවුන් ඒ ගොඩනැඟිලි හා නිර්මාණවල බර දරාගෙන සිටින බව ඉන් ඇඟවෙයි. බහිරවයා යනු පෘථිවිය තුළ ඇති මැණික් හා වෙනත් වටිනා වස්තුවල ආරක්ෂකයාය. නිවාස සෑදීමට පෙර බහිරවයාට පුද පූජා කෙරෙයි. එදා රජවරුන් වටිනා වස්තුව පොළොවේ නිදන් කරන විට ඒ රැක ගැනීමට පොරොන්දු වූ අයකු ඒ ස්ථානයේ හිස ගසා දැමීමේ චාරිත්‍රයක් විය. එසේ හිස් ගැසුම් කෑ මිනිසා  බහිරවයකු වී ඉපිද එම වස්තුව ආරක්ෂා කරන බව එදා විශ්වාසයක් විය. මහනුවරට නුදුරුව “බහිරව කන්ද” නමින් කුඩා කඳුගැටයක් ඇත. නියඟ දුරලීමට, වර්ෂාව ලබා ගැනීමට, භවබෝග සශ්‍රීකත්වයට අවුරුදු පතා මහනුවර මේ බහිරව කෝවිලට රූමත් කන්‍යාවක් බිලි පූජා කළ බවට තොරතුරු එයි.

තව තියෙනවා පහලටම යන්න අපේ ජනකතා - ජනශ්‍රැති - භූත විශ්වාස හා දේව කතාවල “ගොපල්ලා” නමින් මිටි වාමන යක්ෂයකු ගැන තොරතුරු එයි. මෙම ගොපල්ලා ගව පාලනය, ගවයන් ආරක්ෂාව - ගව රැකවරණය - කිරි ලබාගැනීම හා පැටවුන්ගේ ආරක්ෂාව සඳහා පිදූ අයෙකි. කෘෂිකාර්මික සමාජයක් තිබූ ලංකාවේ ගොවිතැනේදී ගවයන් අවශ්‍යම අංගයක් විය. එ‍ෙ¾ඩ්ර යුගයෙන් ගොවි යුගයට පා තැබූ ආර්ය ගෝත්‍රිකයෝ ගොවිතැන සමඟ සතුන් ඇති කිරීමද කළහ. තණබිම්වල හිඟයක් නොතිබූ බැවින් ගවයෝ ගව හිමියන්ගේ ඉඩකඩම් - හේන් - ගම් අවට කැලෑවල නිදැල්ලේ හැසිරුණහ. කුඹුරු සෑමට යොදා ගන්නේ මී ගවයන්ය. වී ගොවිතැනේ කුඹුරු කෙටීම, අස්වැන්න පෑගීම මී හරකුන්ගෙන් ඉටුවිය. මීකිරි නිපද වූයේ මීදෙනුන්ගේ  කිරිවලිනි. දිවි පැවැත්මට අවශ්‍ය කිරි ලබා ගැනීම, පස්ගෝ රස නිපදවා ගැනීම සිදුවූයේ එළදෙනුන්ගේ කිරිවලිනි. ගොඩ හා මඩ ගොවිබිම් සරුසාර කිරීමට ගව පොහොර භාවිත විය.

ගැල්වලට බැඳ ගැල් බර ඇද්ද වූයේ එළ ගවයන්ගෙනි. බෑවුම් වැඩි කඳු ඇදීමේදී ගවයන් දෙදෙනකු හා උන්ට ඉදිරියෙන් තවත් ගොනුන් ජෝඩුවක් බැඳීම එදා හැඳින්වූයේ “තණ්ඩලේ” නමිනි. සිංහලයෝ කිසිවිටෙක ගව මස් නොකෑහ. එමෙන්ම පෝය දා මේ සතුන්ගෙන් වැඩ නොගත්හ.

නිවෙස නුදුරුවම ගව ගාල එදා විය. පාන්දරම අවදිව කිරි ගන්නා දෙනුන්ගෙන් කිරි දෙවීම සිදු විය. කැලේ ලගින හෙවත් කුළු බවට පත්වූ එළදෙනුන්ගෙන් කිරි ගැනීමක් සිදුවූයේ නැත. ජන විශ්වාස අනුව ගවයන්ගේ ආරක්ෂාව ගව රෝග මැඬලීම සිදුකරනුයේ ගොපල්ලාය. පාන්දර යාමයේ ඔහු ගව ගාල් ආශ්‍රිතව හැසිරෙයි. හේ අඩි තුනක් තරම මිටි හිසේ තලප්පාවක් බැඳ ඇත. සුදු රෙදිකඩක් අඳියි. එක් අතක කිරි ‍ෙදාවන මුට්ටියකි. ගොපල්ලාගේ අතේ බලගතු වේවැලක් ඇති බව ජන විශ්වාසයයි. උදේ පාන්දරම එළියක් නැතිව කළුවරේ ගව ගාලට නොයන්නේ එහි ගොපල්ලා සිටිය හැකි බැවිනි. බොහෝවිට ඔහුට බාරහාර වීම, කෙටි පූජා හා මැසිවිලි ඉල්ලීම් සිදුකෙරෙයි. කුඩා වසු පැටවුන් සොයා ගැනීමට නැති විට අන්තිමේදී කරනුයේ ගොපල්ලාට පඬුරක් වෙන් කිරීමයි.

තම පියා හා අමනාපව ගැමුණු කුමරු මාගම අත්හැර “ගුත්තා” නමින් වෙස් හැර කොත්මලේ කොටගේපිටියට පැමිණ උෟරුපැලැස්සේ හෙවත් වීසුරු ගෙදර අවුරුදු ‍ෙදාළහක් ජීවත් වී ඇත. පසුකල ඔහු එම ගමරාලගේ බාල දියණිය වූ රන් මැණිකා සමඟ පෙමින් බැඳී ඇත. ගමරාලගේ කුඹුරු තිබුණේ කොටගේපිටිය ගම පාමුල පිහිටි මාස්වෙල නමැති ගමේය. දිනක් ගුත්තා තනිව යන විට ගොපල්ලා කුමරුගේ මඟ හරස් කර ඇත. හේතුව ගමරාලගේ කුඹුරු මෙන්ම ගව රංචුවම බලා ගත්තේ ගුත්තා විසිනි. බිය සැක නොදත් ගැමුණු කුමරු එකවරම පැන ගොපල්ලා අතේ තිබූ වේවැල උදුරා ගත්තේය. ගොපල්ලා වේවැල ඉල්ලමින් බැගෑපත් වෙමින් ඔහු පසුපස ආවේය. එහෙත් ගොපල්ලාට ආපසු ඔහුගේ වේවැල දුන්නේ නැත. පසුකල මලියදේව හිමි කොත්මලේට වැඩම වූ දඹරන් හිටි බුදු පිළිමය පුසුල්පිටිය විහාරයේ තැන්පත් කරන ලදුව එම කොත්මලේට අධිපති මේඝවර්ණ දෙවි උදුම්බරගිරි කන්දේ සිට පුසුල්පිටියට පැමිණ එහි දේවාලයක පුදපූජා ලබමින් කල් ගෙවීය. මෑත කල එම දඹරන් බුදු පිළිමයද ඉන්පසු එම දඹරන් පිළිමයේ වැඩසිටි ඇත් දත් සැරසිල්ලද සොරු ගත් අතර මේඝවර්ණ දෙවි පුසුල්පිටිය මේඝවර්ණ දේවාලයේ තවමත් වැඩ සිටියි. ගුත්තා මාගම රජ පෙරහර පැමිණ රජකමට පිටත් වන විට ගොපල්ලාගෙන් උදුරා ගත් බලගතු කෙවිට පුසුල්පිටිය විහාරයේ කුඩා දාගැබක නිදන් කළ බව කොත්මලේ ජනකතාවල කියවෙයි.

අප වාසය කරන ගුන්නෑපාන, නාපාන ගමේ සිට “මඩවල” නම් මුස්ලිම් කඩමණ්ඩියට යෑමට කෙටි පාරක් ඇත. දැනට අවුරුදු දෙසීයකට පමණ පෙර මේ අඩි පාර සෑදී ඇත්තේ පන්විල හුන්නස්ගිරි කන්දේ අවට ඝන කැලෑවේ ජීවත් වූ අලි ඇතුන් ගමන් කළ අලි මංකඩක් අනුවයි. (මහනුවරට නුදුරු පොල්ගොල්ල ගමේ “ඇත් ගාල” නමින් කොටසක් ඇත) එදා මේ අවධියේ ගැවසුණු අලෙවියට සුදුසු වන අලින් අල්ලා හීලෑ කිරීම සඳහා තිබූ රාජකීය ඇත් ගාලක් පොල්ගොල්ල ගමේ තිබූ බැවින් ඒ ගමේ කොටසක් ඇත් ගාල යන නම භාවිත වෙයි. එදා ගම හරහා වල් අලි ගමන් කළ අලි මංකඩ මිනිසුන් හැඳින්වූයේ “කළුවර දෙවට” නමිනි. මේ කළුවර දෙවට අද ගල් දමා කාපට් කර විදුලි එළිය ලබාදී “ආලෝක මාවත” නමින් හඳුන්වයි.

ඉහත දැක්වූ කළුවර දෙවට මැද හරියේ දැනට අවුරුදු කීපයකට පෙර අඩි හය හතක් තරම පළලට වැහි දිනවල ගලා ගිය ඇළ පාරක් විය. ඒ ඇළ හරහා එදා එගොඩ මෙගොඩ වූයේ ඒදණ්ඩකිනි. එම ඇළ මණ්ඩිය කිට්ටුව මැදිවිය පසුකළ හරක් වෙදරාල කෙනෙක් ජීවත් විය. ඔහුගේ හරක් වෙදකම ගම හා අවට ගම්වල මිනිසුන්ගේ කතාබහට ප්‍රශංසාවට ලක්විය. දිනක් මැදියම් රැයක හරක් වෙදාගේ පැල්පතේ ‍ෙදාරට යමෙකු තට්ටු කරන්නට විය. වෙදරාල ‍ෙදාර හැර බැලුවේය. ඔහු ඉදිරිපිට සිටියේ කෙට්ටු ගැමියෙකි.
“අනේ! මගේ හරකෙකුට හොඳටම අමාරුයි ඉක්මනට ඇවිත් උෟට බෙහෙතක් කරන්න.”
වෙදරාල බෙහෙත් ආම්පන්න අතට ගෙන ‍ෙදාර වසා යාන්තම් පායා තිබූ හඳ පළුවේ එළියෙන් අමුත්තා පිටුපසින් ගමන් කරන්නට විය. අමුත්තා කතාවක් නැතිව පටු පාර දිගේ අවුත් ඒදණ්ඩ දෙසට හැරුණේය.
කොහෙද ගෙදර?

වෙදරාල ඔහු දෙස බලන විට එහි සිටියේ කලින් සිටි අමුත්තා නොව මිටි රූපයකි. ඔහුගේ අතේ වේවැලක් විය. අමුත්තා වේවැල ගෙන වෙදරාලගේ එක් ඇසකට ඇන්නේය.  වෙදරාල වේදනාවෙන් කෑ ගසාගෙන ඒදණ්ඩ අසලම බිම වැටුණේය. අර මිටි අමුත්තා අතුරුදන් විය. වෙදරාලගේ කටහඬ ඇසී අවට කීපදෙනෙක් දිව අවුත් වෙදරාල ඔසවාගෙන ගොස් නිවෙසේ තැබූහ. ඔහු විකාරයෙන් ‍ෙදාඩවයි. තෙල් සාත්තු කර හිස හා ඇඟේ ගැල්වීමෙන් ඔහුගේ හැඬුම් කෙඳිරිලි නිමාවිය. එහෙත් ඔහු මිය යනතුරුම ගොපල්ලාගේ වේවැලෙන් ඇන අන්ධ කළ ගොපලු දේවතාව ගොපල්ලන්ට අධිපති වෙයි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන
වෙහෙර විහාර වල ඇති මිටි වාමන යක්ෂ මුහුණු පසුපස ඇති පුදුම හිතෙන කතාව වෙහෙර විහාර වල ඇති මිටි වාමන යක්ෂ මුහුණු පසුපස ඇති පුදුම හිතෙන කතාව Reviewed by piyumantha dissanayaka on July 22, 2019 Rating: 5

No comments:

Powered by Blogger.