ඔබ කන්නාඩි දාගෙන නම් කරුණා කරලා මේක බලන්න එපා

මම කාලයක් කන්ණාඩි දාන කෙල්ලෙක් පස්සෙන් ගියා. ඒක හුදෙක්ම ඒක පුද්ගල ප්‍රේමයක්. ඒකීට මාව හැමදාම ලග තියගන්න ඕනේ උනත්, පෙම්වතා කරගන්න ඕනේ කමක් තිබුනේ නැහැ. එකී ආදරෙන් බැදිලා හිටියේ කරුමෙකට මගෙත් යාළුවෙක් වුනු කොල්ලෙක් එක්ක. ඌට හතර වටේටම කෙල්ලො හිටියා. ඌ කෙල්ලෙක් එක්ක යාළු වුනු ගමන් එකීට කන්ණාඩි දෙකක් දානවා. ඊට පස්සේ ඒ කෙල්ල හැමදේම දකින්නේ ඒ කන්ණාඩි දෙකෙන් විතරයි. එතනින් එහාට ලෝකයක් ඒකිට පේන්නේ නැහැ. ආලය කොහොමත් අන්ධයි කියනවනේ. හිතකට ආදරය කරපු උන් බාර්වල තනි වෙද්දී ඇඟට ආදරය කරන උන් කාමරවල සුව විදින්නේ ඒකයි.

අද මම කතා කරන්න යන්නේ ගෑණු ගැනවත්, ප්‍රේමය ගැනවත් නම් නෙමෙයි. උඹලා අපි හැමෝම ලෝකය දකින්නේ කවුරු හරි අපිට දාපු කන්ණාඩි දෙකකින්. එහෙමත් නැත්නම් අපි විසින්ම කාලයත් එක්ක ගොඩ නගා ගත්ත දෘෂ්ඨි කෝණයකින්. එතනින් එහාට ගිහින් ලෝකය දකින්න අපි පුරුදු වෙලා නැහැ. මේක ලියන මට වගේම කියවන උඹලාටත් ඒක පොදුයි. ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති විදිහට ලෝකය දකින්න, තමන්ට ඕනේ විදිහේ ෆැන්ටසියක ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා උඹලා ඔය දාගෙන ඉන්න කළු සුදු, පාට පාට, කණ්නාඩි කුට්ටම් මම එක පාර ගලවන්න යන්නේ නැහැ. අපි මව් කුසෙන් එලියට ආපු දවසේ ඉදලා දෙමව්පියන්ගෙන්, පවුලෙන්, ගුරුවරුන්ගෙන්, අපි ඇසුරු කරන යාළුවන්ගෙන්, හැදෙන වැඩෙන පරිසරය, කියවන පතපොත, බලන චිත්‍රපට, මේ හැමදෙයක්ම අපි ලෝකය දකින විදිහ තීරණය කරනවා. ඒකයි කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්න කියලා. එතනදී අපිට යම්තාක් දුරට ඇත්ත ඇති සැටියෙන් පේන්න පුලුවන්.
තව තියෙනවා පහලටම යන්න මම කුරාණය කියවලා නැහැ. හැබැයි ඒක වැරදියට කියවපු සහරාන් කියලා හාදයෙක් මරණයෙන් මත්තේ ස්වර්ගයේ කන්‍යාවියෝ 72ක් එක්ක නිදි වදින්න හිතාගෙන ත්‍රස්තවාදය වපුරනවා. ඔහු කියන දේශන අහන පිලිගන්න ඔහු වටා එකතු වෙන පිරිසක් ඒ ත්‍රස්තවාදී කන්ණාඩි කුට්ටම දාගෙන අනෙක් සියලු ආගම් මේ ලෝකයෙන් අතු ගා දැමිය යුතුයි කියන එක මූලික කරගෙන අප්‍රේල් 21 මහා ලේ සංහාරයක් කරනවා. අවසානයේ ඔවුන් සුරලොව යන්නේ අහවල් එකත් මෙහෙ තියලා. එච්චර නස්පැත්තියක් කරපු එකාගේ දරුවව අත් දෙකෙන් උස්සගෙන ඇවිත් ජීවිතය බේරගන්න තරම් අපේ යුධ හමුදාවේ කොල්ලෝ මානුෂිය වෙනවා. ඇත්තටම සුරලොව යන්න ඕනේ කවුද කියන එක උඹලටම තේරෙනවා නේද? තව එකෙක්ගේ ජීවිතයක් උදුර ගන්න කලින් කුරාණය මුල ඉදලා අගට කියෙවුවා නම් වැරදි අවබෝධ නැති කරගන්න තිබුනා. මේ වගේ මහා විනාශයක් නොවෙන්න තිබුනා. අද උඹලා අපි එකිනෙකා දිහා සැකෙන් බලන දවස් නොඑන්න තිබුනා. කිසිම ආගමක අවිහිංසාවාදය මිසක් ත්‍රස්තවාදය උගන්නන්නේ නැහැ.

පුංචි කාලේ ඉදන්ම අපිට පුරුදු කරන්නේ කලු සුදු කන්ණාඩි දෙකකින් ලෝකය දිහා බලන්න. කලු සුදු කියලා මිනිස්සු වෙන් කරන්න. මම හතර වසරේ විතර ගමෙන් නගරයට එනවා. දෙමව්පියෝ මාව ඇතුලත් කරන්නේ ලඟම තියෙන පාසලට. අලුත් නිසා මට වැඩිපුර යාළුවෝ හිටියේ නැහැ. එක ළමයෙක් හිටියා; අපි කමල් කියමු. මම වැඩිපුර කෑවේ බිවුවේ සෙල්ලම් කරේ, ආවේ ගියේ කමල් එක්ක. මට පෙනුන එක දෙයක් තිබුනා. කමල්ව ළමයි හැමෝම කොන් කරලා තිබුනා. ටික දවසකින් මගේ මව මට කිවුවා, කමල් එක්ක තියෙන ආශ්‍රය නවත්න කියලා. මගේ මවට ගුරුවරියක් කියලා තිබුනා කමල්ගේ ගෙදර අය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒක නිසා මාව ඔහුගෙන් ඈත් කරන්න කියලා. මාව ටික දවසකින් වෙනත් පාසලකට දාන්න මගේ දෙමව්පියෝ කටයුතු කරනවා. කමල් කියන්නේ මට ඒ බී සී කියන්නවත් බැරි කාලේ චතුර ලෙස ඉංග්‍රීසි කතා කරපු දක්ශයෙක්. පසු කාලිනව කමල්ව මට මගතොටේදී හමුවෙනවා. ඔහුගෙන් සමලිංගික ලක්ෂණ මම දැක්කා. කමල් දැන් සැලොන් එකක් කරනවා. ඌ කුඩු කාරයෙක් නම් වෙලා නැහැ. පාසලෙන්, ගුරුවරුන්ගෙන්, මිතුරන්ගෙන් ඔහුව කොන් කරන එක වෙනුවට නිසි මග පෙන්වීමක් ලැබුනා නම් කමල් අද රටම දන්න එකෙක් වෙන්නත් තිබුනා. ඔබට මතක ඇති ඒඩ්ස් තිබෙන මවකගේ දරුවව පාසලට ඇතුලත් කරන්න බෑ කියපු සිද්ධිය, ඒකත් මේ වගේ.

අපි කලු සුදු කියන කන්ණාඩි දෙකක් දාගෙන මිනිස්සු වෙන් කරන එකෙන් වෙන්නේ තවත් මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, මිථ්‍යා දෘෂ්ටිකයෝ බිහි වෙන එක. ඒකට සමාජයක් විදිහට අපිත් වග කියන්න ඕනේ. කොට කලිසමක් ගහලා, සෙරෙප්පු දෙකක් දාගෙන හිටියට, රැවුල කොණ්ඩේ ටිකක් වැවුවට, ටැටූ එකක් ගැහුවට මනුස්සයෙක් රස්තියාදුකාරයෙක් මැරයෙක් වෙන්නෙ නැහැ. සිගරට් එකක්, මත්පැන් ටිකක් පානය කල පමණින් මිනිහෙක් කුඩ්ඩෙක්, බේබද්දෙක්වත් වෙන්නේ නැහැ. පෙම්වතා එක්ක බුදියගත් පමණින් කෙල්ලෙක් බඩුවක් වෙන්නේ නැහැ. හැබැයි උන්ව ඒ තැනට දාන්න මහන්සි වෙන්නේ, පාර කපන්නේ අපි. ඒ අපි කලු සුදු කණ්නාඩි දෙකක් දාගෙන ලෝකය දකින නිසා. කාටවත් චරිත සහතික දෙන්න කලින් උන්ගේ කතාවත් අහලා බලන්න ඕනේ. උන් ඇවිදගෙන ගිය මාවත්වල ඇවිදගෙන ගිහින් බලන්න ඕනේ.

බුදු හාමුදුරුවන්ගේ කාලෙත් සුනීත, සෝපාක, ආලාවක, අංගුලිමාල, අම්බපාලි, කිසා ගෝතමී වගේ අපිට අද හම්බෙන හැම චරිතයක්ම හිටියා. හැබැයි උන් වහන්සේ ඒ හැමෝටම බෙදුවේ එකම හැන්දෙන්. මොකද උන් වහන්සේ ලෝකය දිහා බැලුවේ අපි දාන විදිහේ කන්ණාඩි දෙකක් දාගෙන නෙමෙයි. තමන්ව ඒ තැනට උපමා කරගෙන බලන්න කියන එක උන් වහන්සේගේ අත්ථ නම් උපමා කතාවේ තිබුනා. දහම් පාසලේදි අපි ඉගන ගත්තේ එහෙමයි. කරුමෙකට අද ලංකාවේ බුද්ධ දර්ශනය වෙනුවට බුද්ධාගම උඩට ඇවිල්ලා. බුදුන් ගේ බණ අපිට අද ඇහෙනවද කියන එක ප්‍රශ්නයක්. ඇත්තටම සහරාන්ලාත්, ප්‍රභාකරන්ලාත්, අංගොඩ ලොක්කලාත් මේ රටේ දරුවෝ තමයි. ත්‍රස්තවාදය වපුරන උන්ට නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ වගේම උන්ව ඒ තැනට ඇදලා දාපු හේතු හොයන්න ඕනේ. එහෙම වැරදි කන්ණාඩි දාගෙන ඉන්න උන් ඉන්නවා නම් ඒවා ගලවලා අයින් කරන්න, උන්ව පුනරුත්ථාපනය කරන්න වැඩපිළිවෙළක් රටකට ඕනේ. බුද්ධ දර්ශනය තිබුනේ එතන මිසක් එල්ලුම් ගහේ නෙමෙයි.

අන්තිමට කියන්න තියෙන්නේ මම අර මුලින්ම කියපු කණ්ණාඩි දාන කෙල්ල වගේ එහෙමත් නැත්නම් සහරාන්ලා වගේ කගේවත් කණ්නාඩි කුට්ටම් වලින් ලෝකය දකින එක නවත්තපන්. එහෙම නොවෙන තාක්කල් උඹලටත් මටත් මේ සමාජය විසින් දේශපාලුවෝ විසින් බොරුවෙන් වහලා තියෙන ප්‍රශ්න පෙනෙන එකක් නැහැ. ඒ තරමටම අපි බොරුවෙන් අන්ධ වෙලා ඉන්නේ. මිනිස්සුන්ට චරිත සහතික දෙන එක නවත්තලා හැම මිනිහෙක් දිහාම එක විදිහට බලන්න පුරුදු වෙයන්. මම වැරදි කරන උන්ට සුදු හුණු ගාන්නේ නැහැ. හැබැයි සුදු හම පොරෝගත්ත නරි එතකොට උඹලට හම්බෙයි. සුදු කළු බේදයකින් තොරව හැම මිනිහටම එක විදිහට ආදරය කරපන්. වැරදි කාන්ණාඩි වලින් ලෝකය බලන උන්ගේ කන්ණාඩි ගලවන්න එතකොට අපිට පුලුවන් වෙයි. තවත් ප්‍රභාකරන්ලා සහරාන්ලා බිහිවෙන එක නවත්තන්න පුලුවන් වෙයි. ඉතින්, ආයෙමත් දවසක හමුවෙනකන් සමුගන්නම්. අදහස් යෝජනා චෝදනා වලට විවෘතයි. මගේ කන්ණාඩි දෙකත් වැරදි නම් ගලවලා දාන්න කියවන උඹලට පුළුවන්..

පුබුදු හෑගොඩ
ඔබ කන්නාඩි දාගෙන නම් කරුණා කරලා මේක බලන්න එපා ඔබ කන්නාඩි දාගෙන නම් කරුණා කරලා මේක බලන්න එපා Reviewed by piyumantha dissanayaka on July 22, 2019 Rating: 5

No comments:

Powered by Blogger.