ඇගේ නම ජයවතී ජානකී පෙරේරා. වයස අවුරුදු 52 යි. ලතින් ඇමරිකානු පෙනුමක් තිබුණත් ඇය ලංකාවේ ඉපදිලා හැදී වැඩිලා කැනඩාවට සංක්‍රමණය වුණ කෙනෙක්. ආරංචියේ හැටියට ඇය මුලින්ම කැනඩාවට එන්නේ අලුත් සහස්‍රය ආරම්භයේදී වසර 2000 මුල හරියේදී. මුල් වකවානුවේදී ඇය තැන් කිහිපයක රැකියා කර තිබෙනවා. ඒ අතරෙ දවසක ඇයට හමුවෙනවා සල්ලි පොලියට දෙන කැනේඩියානු කාන්තාවක්.
“මේක හරි ලාභ බිස්‌නස් එකක්. මේ සල්ලි මගේ මුදල් නෙවෙයි. මම වෙනත් අයගෙන් මාසෙට 2% පොලියට ණයට ගත් මුදල්. මම ඒ මුදල් 5% පොලියට ණයට දෙනවා. මට 3% ක් ලැබෙනවා. ඒ කියන්නේ හැම ඩොලර් 100 කට ඩොලර් 5 ක් පොලී හැටියට මට ලැබෙනවා. එයින් 2% ක් මුදලේ අයිතිකාරයට දීලා මට 3% ක් ඒ කියන්නේ ඩොලර් 3 ක් උපයනවා…”
මේ කතාව අහපු ජයවතී ජානකී පෙරේරා කෙළින්ම ගණන් හැදුවේ ඩොලර් ලක්‍ෂයට පොලිය කීයද කියන එකයි. ඒ ගණන ඩොලර් 3000 යි. (මෙතැන් සිට අපි ඇයට ජානකී කියමු.)
“මිනිස්‌සු ඔය ගන්න සල්ලි ආපහු දෙනවාද?” ජානකී අර කාන්තාවගෙන් ඇහුවා.
“කවුරුත් සල්ලි නොදී ඉන්නෙ නැහැ. ඇරත් අපි සල්ලි දෙන්නේ ස්‌ථිර වශයෙන්ම ආපහු දෙන අයට. සමහරු සල්ලි දෙන්න හුඟක් ප්‍රමාද වෙනවා. හැබැයි හැම මාසෙම නියමිත දවසට පොලිය ගෙවනවා. සමහර වෙලාවට මම මුලින්ම දීපු මුදල වගේ දෙගුණයක් විතර පොලී ගෙවුවට පස්‌සෙ තමයි මුල් මුදල ආපසු ලැබෙන්නේ..”
තමන්ට ගොඩ එන්න තියෙන එකම ව්‍යාපාරය මෙය බව ජානකී ඒ මොහොතේම තීන්දු කළා. දැන් ඇයට සල්ලි පොලියට දෙන්න මූලධනයක් අවශ්‍යයි. කොහොමද සල්ලි හොයා ගන්නේ. ඒ වෙනකොට ඇය වැඩ කරමින් හිටිය තැනින් ඇයට ලැබුණ මාසික වැටුප ඩොලර් 3000 යි.
ඒ එක්‌කම ඇගේ මතකයට ආවෙ ශ්‍රී ලංකාවෙන් කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රාන්තයට ඇවිත් පදිංචිවෙලා ඉන්න පවුල් කිහිපයක්. ඇය මේ පවුල්වල අය කිට්‌ටුවෙන් ඇසුරු කළා වගේම ඇගේ හදිසි අවස්‌ථාවලදී ඇය මුදල් ගනුදෙනු කරගත්තෙත් ඔවුන්ගෙන්.
පළමුවැනි වටයේදී මේ පවුල් කිහිපයෙන් ඩොලර් 5000 ක් එකතු කරගන්න ඇයට පුළුවන් වුණා. මාසයක් ගිය තැන සියයට දෙකක පොලියක් එක්‌ක ඒ මුදල ඇය ඔවුන්ට ආපසු දුන්නා. එය ඔවුන් අපේක්‍ෂා නොකළ ආකාරයේ පොලියක්. කැනඩා වගේ රටවල බැංකු බොහොමයක් ස්‌ථාවර තැන්පතුවලට පොලී දෙන්නෙ නැහැ. ඔවුන් ඒ වෙනුවට කරන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් පරිස්‌සමින් තබා ගන්නවාට සේවා ගාස්‌තුවක් අය කරන එක විතරයි. සමහර මූල්‍ය ආයතන විතරක් අවුරුද්දටම 1% විතර පොලියක් තැන්පතුකරුවන්ට දුන්නා. එහෙත් එක්‌තරා සීමාවක තිබෙන තැන්පතුවලට විතරයි. සීමාව ඉක්‌මවා තැන්පත් කරන මුදල් වෙනුවෙන් සේවා ගාස්‌තුවක් ගෙවන්න තැන්පතුකරුවන්ට සිදු වුණා. ඔවුන්ට පොලියක් හිමිවන්නේ නැහැ.
ජානකී තමන් ණයට ගත් මුදල වෙනුවෙන් පොලී ගෙව්වේ තමන්ගේ වැටුපෙන්. ඊළඟ සැරේ ඇය ඩොලර් 10,000 ක් ණයට ගත්තා. එයටත් 2% බැගින් පොලියක් ගෙවුවා. මෙහෙම ටික කලක් යන විට ඇයට ඩොලර් පනස් දහසක් විතර එකතු කරගන්නට හැකි වුණා. ඇය ඒ මුදල් 5% පොලියට ණයට දුන්නා. අවුරුද්දක් ගත වනවිට ඇය සතුව ඩොලර් ලක්‍ෂ 5 ක මූල ධනයක් එකතු වෙලා තිබුණා. මෙතෙක් වෙනත් පාර්ශ්වවලින් අවුරුද්දට 24% පොලියට ණය ගනිමින් සිටි ඇය ඒ පොලිය 48% තෙක් වැඩි කළා. ඒ කියන්නේ මාසයකට 4% ක පොලියක්. ඇය ඒ මුදල් 8% පොලියට ණයට දුන්නා. ඒ මගින් ඇයට අවුරුද්දකට 48% ක් පොලී ලැබුණා. ඒ කියන්නේ ඩොලර් ලක්‍ෂයකට ඩොලර් 48000 ක ආදායමක්·
වසර 2012 වන විට ඇය ටොරොන්ටෝ ප්‍රාන්තයේ හිටපු සුපිරි ධනපතිනියක්. ඇය ජීවත් වූයේ මාලිගාවක් වැනි මන්දිරයක. ඇය ගමන් කළේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 4 කටත් වඩා වටින BMW රියක ඇය ලංකාවට එද්දී ගුවන් යානයේ පළමුවැනි පන්තියේ ගමන් කළා. ඒ සඳහා අවස්‌ථා කිහිපයකදී ඇය ලංකාවේ මුදලින් රුපියල් කෝටි එකහමාරක් විතර වැය කළා.
වසර 2014 වනවිට ඇය වෙනත් පාර්ශ්වවලින් ඩොලර් ලක්‍ෂ 55 ක් ණය අරගෙන තිබුණා. ඒ සඳහා සමහරුන්ට අවුරුද්දට 60% කුත්. තව සමහරකුට අවුරුද්දට 70% කුත් ඇය පොලී ගෙවුවා. ඇගේ බිඳ වැටීම පටන් ගත්තේ මෙතැනින්. ඇය එසේ වැඩි පොලියට ගත් මුදලින් ආදායමක් උපයන්න නම් ඊටත් වැඩි පොලියට ණයට දිය යුතුයි. ඒ කියන්නේ 70% ට ගන්නවා නම් 75% කටවත් ණයට දිය යුතුයි. එහෙත් කවුරුවත් ඇගෙන් එවැනි ඉහළ පොලියක ණය ගත්තේ නැහැ. වැඩිම වුණොත් ඇයට ලැබුණේ අවුරුද්දට 15 ක විතර පොලියක්. අන්තිමේදී ඇයට තම ණය හිමියන්ට පොලී ගෙවා ගන්න බැරි වුණා.
අන්තිමේදී ශ්‍රී ලංකාවේ සක්‌විති රණසිංහට දඬුවම් මුදලාලිට සහ වෙනත් පිරමිඩ් ජාවාරම්කාරයන්ට සිදු වුණ දේ ඇයටත් සිදු වුණා. ඇයට මුදල් ණයට දීපු 60 දෙනෙක් ඇගේ නිවස වට කර ඇය අල්ලාගෙන පොලිසියට භාර දුන්නා. මේ අය අතරින් සමහරු ඇයට ඩොලර් ලක්‍ෂ 7 -8 අතර ගණන් දීලා තිබුණා. තවත් සමහරු ඩොලර් 1000 ක් දීලා තිබුණා. ජානකී මේ මුදල්වලට කිව්වේ “ආයෝජන” කියලා.
ජානකී තමන් ගත් මුදල් වැය කර තිබුණේ මොනවටද? ඇගේ ප්‍රමුඛ ව්‍යාපාරය තමයි ණය ගැතියන්ට ණය දීම සඳහා මුදල් ආයෝජනය කිරීම. ඊළඟට ඇය ශ්‍රී ලංකාව තුළ ඉඩම් කිහිපයක් අරගෙන ඒවා සංවර්ධනය කළා. ඇය පොලිසියෙන් උසාවියට දැමුවාම ඩොලර් දශලක්‍ෂ දෙකහමාරක් විතර ණය හිමියන්ට ආපසු දෙන්න ඇයට පුළුවන් වුණා.
වසර දෙකක් පමණ තිස්‌සේ විභාග කරන ලද නඩුවෙන් ජානකී වැරදිකාරිය වුණා. ඇයට වසර 5 ක සිර දඬුවමක් පැනවූ අතර තවමත් දීගන්නට බැරිව ඉතිරි වූ ඩොලර් දස ලක්‍ෂ 3 ණය හිමියන්ට ගෙවන ලෙස ඇයට නියෝග කෙරුණ. ඒ මුදල ගෙවන්න බැරි වූයෙන් ඇයට තවත් වසර 15 ක් විතර හිරේ ඉන්න වෙයි.
ජානකී වැඩියෙන්ම මුදල් අරගෙන තිබුණේ කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන්. ඔවුන් ලංකාවට යන විට ගුවන් ගමන් ගාස්‌තුව ගෙව්වේ ඇයයි. එය ඇය ඔවුන්ට දුන් තෑග්ගක්. කොහොම නමුත් ජානකීට ලංකාවේ තිබෙන රුපියල් කෝටි ගණනක් වටින දේපළවල ඉරණම මොකක්‌ද කියන එක තවම තීරණය වී නැහැ. ඒ අතර අප අමතක කළ යුතු නැහැ හොඳින් හෝ නරකින් හෝ ඇය ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙනා බව.
උපුටාා ගැනීම දිවයින පුවත්පතෙන්
සංඛනාද වෙදගෙවත්ත
රුපියල් කෝටි 82 ක් කැනඩාවට වංචා කළ ලංකාවේ සක්‌විති අක්‌කා.
Reviewed by Unknown
on
November 12, 2016
Rating:
No comments: